$179-coal-bought-at-$284

වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර, අඩු මිල දශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටොන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දිර්ඝ කාලීන ප්‍රසම්පාදනය යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොග ගෙවා තීබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 179.55ක්  ලෙස දක්වා ඇති අතර අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ ටොන් එකක් ඩොලර් 284.84ක් වශයෙනි.

මෙම මිල ගණන් අතර පරතරය අවම කර ගැනීම සඳහා අදාළ සමාගම සමග සාකච්ඡා කිරීමට හැකියාව තිබියදී ඒ සඳහා උත්සාහයක්වත් ගෙන නැතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ. රුසියානු හා ඉන්දුනීසියානු කලාපයේ ගල් අකුරුවල මිල දර්ශකය ඉතා පහළ අගයක් ගන්නා අතර ඔස්ට්‍රේලියානු මිල දර්ශකය පවතින්නේ ඉතා ඉහළ අගයක බවද මෙම ගල්අගුරු තොග ගෙන්වා තිබෙන්නේ එම ඉහළ අගයක් ගන්නා මිල දර්ශක අනුව බවද එම වාර්තාවේ සඳහන් වේ.



මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ  ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම ගල්අඟුරු තොග ගෙන්වනු ලැබුවේ ඕස්ට්‍රේලියාවෙන් බවත් එසේ තිබියදී විගණකාධිපතිවරයා හිතලු ප්‍රකාශ කරන්නේ යැයි ඔහු චෝදනා කර තිබූ බවද එම වාර්තාවේ සදහන් වේ. එහෙත් මේ දක්වා කිසිදු අවස්ථාවක ඕස්ට්‍රේලියානු කලාපයෙන් ගල්අගුරු ආනයනය කර නැති බව ආනයනයට සම්බන්ධ වූ සමාගම පිළිගෙන ඇති බවද එම වාර්තතාන්වේ සඳහන් වේ.ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරයා නිසි විචක්ෂණභාවයකින් හා වෘත්තීයභාවයකින් තොරව පිළිතුරු සපයා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් බ්ලැක් සෑන්ඩ් කොමොඩිටිස් සමාගම සමග ආරම්භ කරන්නට සුදානම් වූ ගල්අගුරු ටෙන්ඩරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශ ලේකම්වරයා දී තිබෙන පිළිතුරු නිවැරදි නොවන බවද විගණන මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මෙම ලක්විජය ගල්අඟුරු බලාගාරයට වාර්ෂිකව  ගල්අඟුරු මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක් අවශ්‍ය වන අතර ඒ අනුව 2021 සිට

2025 දක්වා අවශ්‍ය ගලඅගුරු අවශ්‍යතාවෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 45ක් සපයා ගැනීම සඳහා දීර්ඝකාලීන ප්‍රසම්පාදනය යටතේ ටෙන්ඩරය පිරිනමා තිබෙන්නේ ලංකා ගල්අගුරු සමාගමේ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි නොකළ සමාගමක් වන ඉහත සඳහන් බ්ලැක් සෑන්ඩ් කොමොඩිටිස් සමාගමට බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ. එම සමාගම තමන් වෙනුවට මීට පෙර ලංකා ගල්අගුරු සමාගම සමග ගනුදෙනු කළ සුඒක් ඒජී සමාගම සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.



විගණන වාර්තාවට අනුව මෙම සමාගමට ටෙන්ඩර්ය පිරිනමා තිබෙන්නේ නිසි පරිදි ප්‍රසම්පාදනය සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් නොකර තිබෙන තත්වයක් යටතේ බවද 2022 අගෝස්තු 03 වැනිදා එනම් ටෙන්ඩරය කැඳවීමෙන් පසුව හා ටෙන්ඩරය අවසන් කිරීමට දින හතක් තිබියදී එම සමාගම සම්බන්ධ කරගැනීමට හැකි වන පරිදි ලංසු ලේඛන සංශෝධනය කර තිබෙන  බවද එහි දැක්වේ .එහෙත් විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වූ විරෝධය හමුවේ පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩලය මෙම ටෙන්ඩරය ප්‍රදානය අවලංගු කර තිබේ.

ඒ එම සමාගමේ අඩුපාඩුවක් ගෙන හැර දක්වා නොව අදාළ සමාගම ඉදිරිපත් කර ඇති කරුණක් පදනම් කරගෙන බව විගණන වාර්තාවේ සඳහන් කර ඇත. එනම් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ඇපකරය ගෙවීම් කිරීම සඳහා පිළිගත නොහැකි බවට 21 වැනිදා යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙන බව එහි දැක්වේ. මෙම ගනුදෙනුව සිදුවූයේ නම් එය රුපියල් කෝටි 50,000කට අධික ගනුදෙනුවක් බවද විගණන වාර්තාවෙන් පෙන්වාදී ඇත.


මුදිතා දයානන්ද