sheahan-semasinghe-threat-call

නිල නිවෙසේ ලක්ෂ 18ක විදුලි බිල නොගෙවන්නේ ඇයි දැයි විමසමින් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විහාරස්ථානයක හිමිනමක් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට දුරකතනයෙන් බැණ තර්ජනය කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (5) කරුණු වාර්තා කර ඇත. තමන් ඉකුත් 3 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වී නිල නිවසට යමින් සිටියදී ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විහාරස්ථානයක හිමිනමක් බව පවසමින් මෙම දුරකතන ඇමතුම ලබාදුන් බව සඳහන් කරමින් කුරුඳුවත්ත පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ, කැපෙට්ටිපොළ මාවත කොළඹ 07 ලිපිනයැති රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් අසංක සේමසිංහ මහතාය.



තමා පදිංචි නිල නිවෙසේ විදුලි බිල රුපියල් ලක්ෂ 18ක් ගෙවීමට තිබේ දැයි විමසු එම හිමිනම, එම මුදල නොගෙවන්නේ මන්දැයි විමසූ බවත්, මා පදිංචි කාල සීමාවේ සියලුම මුදල් ගෙවූ බවට පිළිතුරු දී ඇති බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. තවත් ලක්ෂ දෙකක් ගෙවන්න තියෙනවා නේ දැයි? එම හිමිනම තමාගෙන් ප්‍රශ්න කළ අතර, මෙම තොරතුරු ලැබුණේ කෙසේදැයි තමන් විමසා සිටි බවත් පැමිණිලිකාර රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම කරුණු රාජ්‍ය පරිපාලන අමාතශයේ ලේකම්වරයාගෙන් ලබාගත් බවට එහිදී දුරකතනයේ රැඳී සිටි හිමිනම ප්‍රකාශ කළ බවත්, එම දුරකතන ඇමතුම පටිගත කරන බවට තමාට හැගී ගිය බවත් පැමිණිල්ල සඳහන් කර ඇත.

මෙය, තම දේශපාලනය තුළින් ලබාගෙන ඇති කීර්තිනාමයට හානියක් කිරිමටත්, මහජනතාව කුපිත කිරීමටත් මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම තමාගේ ජීවිතයට හානියක් වන ක්‍රියාවක් බවට තමන්ට හැගී යන බව පැමිණිල්ල සඳහන් කර ඇතැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 480, 486 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වැරැද්දක් බැවින්, මේ සම්බන්ධයෙන් විමර්ෂනයක් ආරම්භ කර ඇති අතර, අදාළ දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කුලුනු වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

නිමත්ති රණසිංහ - lankadeepa