hummer-issue-siyambalapiya

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසු එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.



අදාළ වාහනය තවත් වාහන තුනක් සමග මේ වසරේ (2022) පෙබරවාරි 22 වැනිදා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ පවසීය.

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ වාහන කිහිපයක් රාජ සන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා තිබුනා. එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නැහැ. එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය ගැටලුකාරීයි. එය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී ඇත.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40 ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5ටය. එනම් තක්සේරු වටිනාකමින් 33. 75%ක අඩු මිලක් යටතේය.

නමුත් රේගු ආඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකමින් 10%ක් නො ඉක්මවූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක්වේ.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතුය.