pettah-robbery

මුදල් අමාත්‍යංශ සේවකයකුගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් 8800 ක මුදලක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලමේදී සොරා ගත් බව කියන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ

පොලිස් කොස්තාපල් රියැදුරකු සහ තවත් අයකු සැකපිට පෙරේදා (19) අත්අඩංගුවට ගන්නා ලදැයි කොටුව පොලිසිය පවසයි. සොරා ගන්නා ලදැයි කියන මුදල සැකකාර කොස්තාපල්වරයා ළඟ තිබී සොයාගත් බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මුදල් පසුම්බියේ අයිතිකරු මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහයකයකු ලෙස සේවය කරන අයෙකු යැයි පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා ගුවන් පාලම මත සිවිල් ඇඳුමෙන් සැරසී සිටිමින් රහස් පොලිස් නිලධාරින් බව පවසා මුදල් අමාත්‍යාංශයේ සේවකයාගේ මුදල්  පසුම්බිය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන ඇතැයි පොලිසිය කියයි.  මුදල් පසුම්බිය පරික්ෂකර බලා නැවත එය අයිතිකරු අතට නැවත පත් කර ඇති අතර මුදල් පසුම්බියේ තිබූ රුපියල් 8800 ක මුදලක් එහි නොමැති බව දුටු අයිතිකරු ඒ බව රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනාට පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඔවුන් එම මුදල් නොගත් බව මුදල් පසුම්බියේ අයිතිකරුට පවසා ඇතැයි ද පොලිසිය පවසයි.



මුදල් පසුම්බියේ අයිතිකරු මේ බව කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි පොලිස් මුරපොළේ නිලධාරින්ට පැමිණිලි කර ඇත. පොලිස් මුරපොළේ නිලධාරීන් පැමිණ එම පුද්ගලයන් දෙදෙනා පරික්ෂාකර බලා කොස්තාපල්වරයා ළඟ තිබී රුපියල් 8800ක මුදලක් හොයාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මොවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එක් අයකු පොලිස් කොස්තාපල් රියදුරකු බවට හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සඳහා කොටුව පොලිස් ස්ථානයට බාරදී ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය