
ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්‍ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දන්වා ඇතැයි සඳහන්ය.
එල්ල වී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කොළඹ,
මාලිගාවත්ත පටුමගෙහි පදිංචි එස්.එම්. නිෂාන් මව්ලනා නමැති පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කර තිබු ලිඛිත පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබිණි. එහිදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තායිසේ සමාගමේ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු උප කොන්ත්‍රාත්කරුවන් ද කැඳවා සාක්ෂි සටහන් කරගත් බවත්, ජපන් තානාපති කාර්යාලයෙන්ද එම පරීක්ෂණවලට අදාළ කරුණු විමර්ශනය කර ඇති බවත් වාර්තා වේ.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනාවකට ලක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන්පසු සිය ධුරයෙන් ද ඉල්ලා අස්වෙමින්, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.
ඒ අනුව ජනාධිපතිවරයා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කළ අතර, එහිදී සිදු කළ පරීක්ෂණවලදී හා සාක්ෂි විමසීමේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ කිසිදු අමාත්‍යවරයකු එසේ අල්ලස් ඉල්ලා නොමැති බව එම කමිටු වාර්තාවෙහි සඳහන් වී තිබිණි. නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් නැවත පත් කරන ලද්දේ ඉන් අනතුරුවය.
ඩයනා උදයංගනී
Comments
Post a Comment
Your comment will be visible after approval