peradeniya-student-missed

ලිපියක් ලියා දැනට සොයාගන්නට බැරිව සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා අතුරුදන් වී ඇත්තේ පෙම් ආරවුලක් මත ඇතිවූ මානසික ආතතියකින් බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි මහනුවර දිසාවේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.



මෙම සිසුවා ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේම තරුණියක් සමගින් පෙරාතුව පවත්වාගෙන ගිය පෙම් සම්බන්ධතාවක් නිසා මානසික පීඩනයකින් පසුවී තිබෙන බවද පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව් වන වසරේ සිසුවකු බව පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි.

මෙම සිසුවා පසුගිය (02 වැනිදා) රාත්‍රියේ ලියුමක්ද ලියා තබා ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් පිටතට ගොස් ඇති බව මේ වන විට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ල මත සරසවි සිසුන්ගේ ද සහාය මැද පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ ඍජු අධීක්ෂණය මතය.



ගැටලු රැසකට මුහුණ පා සිටින බැවින් එම තත්ත්වය දරාගත නොහැකිව විශ්වවිද්‍යාලයෙන් බැහැර වන බව මෙම සිසුවාගේ කාමරයේ තිබී හමුවූ ලිපියේ සඳහන්ව තිබේ.

තම පුතාට මේ ආකාරයෙන් අතුරුදන්ව සිටීමට කිසිදු හේතුවක් තමා දැනුවත්ව නොතිබූ බව මේ ශිෂ්‍යයාගේ මව වන ජී. එස්. එන්. පෙරේරා පේරාදෙණිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කොට තිබේ.

(එෆ්.අස්ලම්, කමල් සුරවීර - මහනුවර)