anuradapura-aids

මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා එච්.අයි.වී ආසාදිතයන් 24 දෙනෙකු අනුරාධපුරයෙන් හමුවී ඇති බවත් මින් පුද්ගලයන් සිවු දෙනෙකු මියගොස් ඇති බවද අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. ඉතිහාසයේ වැඩිම එච්අයිවී ආසාදිතයන් වාර්තාවූයේ මෙම වසරේ බවද ඇය පැවසුවාය. අනුරාධපුරයේ පිරිමි පිරිමි අතර සිදුවන ලිංගික සේවනය නිසා පුද්ගලයන් හත් දෙනෙකුටත් කාන්තාවන් හා පිරිමින් අතර සිදුවූ අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා පුද්ගලයන් 17 දෙනෙකුට එච්. අයි. වී. රෝගය වැලඳී ඇති බවද වෛද්‍යවරිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් අප ඊයේ (04) දින සිදුකළ විමසුමේදී වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවාය.



"අනුරාධපුරයෙන් පසුගිය 2020 වසරේ එච්. අයි. වී. ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වුණා. 2021 වසරේ එම සංඛ්‍යාව 10 ට අඩුවුණා. 2022 ජනවාරියේ සිට මේ දක්වා රෝගීන් 24 දක්වා වර්ධනය වුණා. මෙය ඉතිහාසයේ වැඩිම එච්. අයි. වී. රෝගීන් හමුවූ වසරයි. ලංකාවේම එච්අයිවී රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අනුරාධපුරයෙන් එච්. අයි. වී. ආසාදිතයන්  වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ මැදවච්චිය, කහටගස්දිගිලිය, රාජාංගණය හා තඹුත්තේගම යන ග්‍රාමීය ප්‍රදේශවලින්.

විදේශගතවුවන්ගෙන් 25% ක දෙනෙකුට රෝගය වැලදී තිබෙනවා. රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයගේ රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර ලේ බැංකුවෙන් පරීක්ෂාවට ලක්කරනවා. එහිදී ලේ පරිත්‍යග කළ පිරිසෙන් 20% කට එච්. අයි. වී. රෝගය වැලඳී තිබෙන බවට අනාවරණය වුණා.  රෝගය වැලඳුණ මුල් අවස්ථාවේදී ප්‍රතිකාර  කිරීමෙන් රෝගීන් සුවපත් කරන්න පුළුවන්, කල්ගතවූ පසුව අවදානම වැඩියි.

අනාරක්ෂිත ලිංගික සබදතා හේතුවෙන් එච්. අයි. වී. රෝගය වැලඳීම ප්‍රධානතම හේතුවයි. මෙම ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් 300 කට අධික පිරිසක් මේ වන විටත් අනුරාධපුර  ශික්ෂණ රෝහලේ ලියාපදිංචි වී සිටිනවා.

මින් වැඩි පිරිසක් අනුරාධපුරයෙන් පිටත පදිංචි කාන්තාවන්, ඔවුන් මාස තුනකට වරක් රුධිරය පරික්ෂා කරගන්නවා. ඒ වගේම රෝහලින් ඔවුන්ට කොන්ඩම් නොමිලේ ලබා දෙනවා. බස් රථයකදී හෝ මග තොටදී කාන්තාවන් හඳුනාගෙන පසුව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම නිසා එච්. අයි. වී. රෝගය වැලඳී ඇති අවස්ථා වැඩිවී තිබෙනවා. එම නිසා එච්. අයි. වී. රෝගයෙන් මිදීමට අනාරක්ෂිත ලිංගික  සබඳතාවලින් දුරස්වන ලෙසට තමන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙහිදී පැවසුවාය.
දයාරත්න ඇඹෝගම