panadura-incident

පාසලේදී තම පුතා සමග දබරයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් උරණවී හත් හැවිරිදි දරුවකුගේ බෙලෙන් අල්ලාගෙන පහරදුන් බව කියන පුද්ගලයකු ඊයේ (04) අත්අඩංගුවට ගත්බව හාදුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය, පනාපිටිය පාරේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. සැකකරුගේ පුතා පොතුපිටිය විදුහලේ 3 වසරේ ඉගෙනුම ලබන අතර, පාසල නිමවී රැගෙන යාමට පැමිණ සිට ඇත. පුතා පිටතට පැමිණ තමාට මිතුරකු පහර දුන් බව දැනුම් දීමෙන් පසු උරණ වූ සැකකරු පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. පාසලේ ප්‍රධාන දොරටුව අසල දී විශාල පිරිසක් බලා සිටිය දී බෙලෙන් අල්ලාගෙන කමිස කොළරයෙන් ඇද වම් කම්මුලට පහරවල් දෙකක් එල්ල කළ බව පහර කෑමට ලක් වූ සිසුවා පැවසු බව ඔහුගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත. පහර කෑමෙන් චමුතූ භාග්‍ය දරුවා බිම ඇදවැටී ඇති අතර, ත්‍රීරෝද රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ. සිසුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

අවට සිටි පුද්ගලයකු 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත රථවාහන අංශ නිලධාරීන් පාසලට පැමිණි මෝටර් රථයත් සමගින්ම සැකකරු පොලිස් භාරයට ගත්බව පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(පානදුර සුමිත් පොතුපිටිය)