kohuwala-police-arrested

සොරාගෙන ගොස් අත්හැර දමා ගිය රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා යතුරුපැදියක් පිළිබඳ පරික්ෂණ සිදු නොකර එම යතුරුපැදිය සිය පරිහරණය සඳහා යොදා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු කොහුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලීසියේම අපරාධ අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

පසුගිය ජුනි මස 11වැනිදා මහරගම සුපිරි වෙළෙඳ සැලක් ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පුද්ගලයෙකු සිය යතුරුපැදිය සොරාගෙන ගොස් තිබූ බවත්,

එම ලියාපදිංචි අංකයම සහිත එම යතුරුපැදිය පුද්ගලයකු පදවාගෙන යමින් සිටියදී තමා ඔහු පසුපස ගොස් තොරතුරු සොයා බැලීමේදී ඔහු කොහුවල පොලීසියේ කොස්තාපල්වරයෙකු බවට දැනගන්නට ලැබුණු බවත් පවසමින් පුද්ගලයෙකු කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. තමන් ඒ පිළිබඳ මහරගම පොලීසියට පැමිණිල්ලක් කළ බවද එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා රහසිගත විමර්ශනයක් සිදුකර කොස්තාපල්වරයා පරිහරණය කරන යතුරුපැදියට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවටත්, එය ඔහුට අයත් එකක් නොවන බවටත්

පැය කිහිපයක් තුළදී තහවුරු කර ගෙන තිබේ. අනතුරුව ස්ථානාධිපතිවරයා අදාළ කොස්තාපල්වරයාගෙන් මේ පිළිබඳ සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු ගල්කිස්ස පොලීසියේ සේවය කරන අවධියේදී ඔහු නිල ඇඳුමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම යතුරුපැදිය අත්හැර දමා පුද්ගලයන් දෙදෙනෙකු පලා ගිය බවත්, අනතුරුව තමන් එම යතුරුපැදිය තමන්ගේ ප්‍රයෝජනයට ගත් බවත් කොස්තාපල්වරයා සඳහන් කර ඇත.එම යතුරුපැදිය නඩු භාණ්ඩයක් ලෙස පොලීසියේ ලේඛනවලට ඇතුළත් නොකර,

යතුරුපැදිය සොරාගත් පුද්ගලයන් පිළිබඳ හා එය අපරාධ සඳහා යොදා ගත්තා දැයි විමර්ශනයක් සිදු කිරීම පසෙකලා

සොරකමට සම්බන්ධ යතුරුපැදිය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ සේවය කරන අවධියේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මීට සති තුනකට පමණ ඉහතදී කොහුවල පොලීසියට මාරු කර එවූ පුද්ගලයෙක් බවත් පොලිස් ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වේ. සැකකාර කොස්තාපල්වරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

( බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)