itn-lost

සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පසුගිය වසර අවසන් වන විට එය රුපියල් කෝටි 31කට අධික පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. එයින් කෝටි 24 ක් (23,81,31,346) ස්වාධීන රූපවාහිනි සේවයෙන් ලද අලාභයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම සමාගම 2015 වසරේ සිට දිගින් දිගටම පාඩු ලබන බව ද වාර්තාව අනාවරණය කර තිබේ. එම වාර්තාවට අනුව 2021 දෙසැම්බර් අවසන් වන විට ස්වාධීන රුපවාහිනි එෆ්.එම්, සේවය රුපියල් 4,13,25,521ක්ද, වසන්තම් එෆ්.එම් සේවය රුපියල් 1,04,55,852ක්ද, වසන්තම් රූපවාහිනිය 4,63,37,505ක්ද ලෙස පාඩු ලබා ඇත.  එසේ ආයතනය පාඩු ලබමින් තිබියදී මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති) විසින් රුපියල් 348,708කද, නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (අලෙවි ) විසින් රුපියල් 167, 292කද අනුමත සීමාව ඉක්මවා ඉන්ධන ලබාගෙන ඇතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ. මාධ්‍ය ජාලය විසින් මිලදී ගෙන ඇති දේශීය ටෙලි නාට්‍ය 8 න් රුපියල් 1,83,48,836ක් පාඩු ලබා ඇති බවද විගණනයේදී අනාවරණය වී තිබේ.

මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ රාජකාරි හා පෞද්ගලික  පරිහරණය සඳහා නිල වහනයක් සපයා තිබියදී අමතර කුලී වාහනයක් ලබාගෙන තිබේ. එයට කුලී ලෙස පසුගිය වසරේ දී  රුපියල් 34,38,685ක් ගෙවා ඇති අතර එයට රුපියල් 10,88,897ක  ඉන්ධන ද සපයා ඇත.

සභාපතිවරයාගේ නිල වාහනයට අනුමත ඉන්ධන ප්‍රමාණය ලීටර් 1800ක් වුව ද එම සීමාව ඉක්මවා රුපියල් 10,35,828ක් වටිනා ඉන්ධන ලීටර් 6025ක් ලබාගෙන ඇත.  විගණන වාර්තාවට අනුව මාධ්‍ය ජාලය දිගින් දිගටම පාඩු ලබද්දීත් අනුමත සීමාව ඉක්මවා කොන්ත්‍රාත් පදනම හා දෙනික පදනමින් සේවකයන් 18 දෙනකු බඳවාගෙන ඇති බවද අනුමත සීමාවට වඩා අතිරික්ත කාර්ය මණ්ඩලය 67 ක් සිටින අතර කාර්ය මණ්ඩලයට ඇතුළත් නොවූ තනතුරුවල නිලධාරින්ට පෞද්ගලික වන සේ සේවකයින් 113ක් බඳවා ගෙන තිබේ.

මුදිතා දයානන්ද