itukama-closed

'ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 'කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල”නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ. පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරණ නිල බැංකු ගිණුම ඔක්තෝබර් මස 18 වැනි දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බව කෝවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සඳහන් කළේය. එබැවින් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් අරමුදලේ ලේකම්වරයා පරිත්‍යාගශීලීන්ට දැනුම් දුන්නේය.

කෝවිඩ්-19 වසංගත අවස්ථාවේදී දිවයින තුළ ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා පරිත්‍යාගශීලී ජනතාව ලබාදුන් දායකත්වයද කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම්වරයා අගය කළේය. කෝවිඩ් අරමුදල සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක්ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූපහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58) ලැබී ඇත. පී.සී.ආර්. පරික්ෂණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීම, ජාතික එන්නත්කරණ වැඩසටහන, දැඩි සත්කාර ඒකක සඳහා ඇඳන් මිලදී ගැනීම සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් එකසිය අනූ නව කෝටි හැත්තෑපන් ලක්ෂ හැටනවදහස් හාරසිය පනස් හයයි ශත පනස් හයක් (රු.1,997,569,456.56) මෙම අරමුදලෙන් වැය කර ඇති බවද අරමුදලේ ලේකම්වරයා සඳහන් කරයි.

ඔක්තෝබර් 18වැනිදා වනවිට කෝවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එකෝටි හැට අටලක්ෂ හැත්තෑ පන්දහස් හාරසිය තිස්එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා පුරවැසියන්ට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෙද්‍යආධාර ලබාදීමට එම මුදල් යොදාගැනීමට නියමිත බවත්  ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.


(නවෝද්‍යා පවනි)