
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිල මුද්‍රාව සහ අත්සන යොදාගනිමින් රජයේ රැකියා ලබාදීමට යැයි පවසා පුද්ගලයන් 14 දෙනකුට පත්වීම් ලිපි ලබාදී රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (20) කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.කොළඹ 07 නිදහස් චතුරස්‍රයේ පිහිටි රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම “රැකියා විරහිත අය රැකියාගත කිරීමේ වැඩසටහන 2021" නමින් ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් අදාළ පුද්ගලයා මෙම ජාවාරම සිදුකර ඇත්තේ අන්තර්ජාලය උපයෝගී කරගෙන බවට කරුණු අනාවරණය වී ඇතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු මෙමගින් රවටා ඇති පිරිස මුදල් ලබාදී ඇත්තේ අන්තර්ජාලයෙන් ලද උපදෙස් අනුව කැඳවීම් ලිපි ලබාදී තහවුරු කර ගැනීමෙන් පසුව බවත් අදාළ ලිපි ශීර්ෂ සහ අත්සන් මෙන්ම මුද්‍රාද ව්‍යාජ ඒවා නොවන බවට බැලූ බැල්මට තහවුරු කිරීමෙන් පසු එම පිරිස් මුදල් බැංකු ගත කර ඇති බවට හෙළිවී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මහජන දිනය පැවැති ඉකුත් දෙසැම්බර් මස 08 වැනිදා දින අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කැඳවීම් ලිපි ලැබී ඇති බව සඳහන් කරමින් පුද්ගලයන් 14 දෙනකු පැමිණ සිටි බවත් එම කැඳවීම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන සහ නිල මුද්‍රාව ද ඇතුළත්ව තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි. මෙම එදින අදාළ ව්‍යාජ ලේඛන ද සමග පැමිණි මෙම පුද්ගලයන් 14 දෙනා සම්බන්ධයෙන් පළාත් ඒකාබද්ධ අධ්‍යක්ෂ ජනරාල් නුවන් අලෝක බණ්ඩාර මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එම ලිපිවලට අදාළ ලිපි අංකය වන පීඑස්/ ජීඅයි 2020/1 යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලිපි ගොනුවක් පවතින නමුත් 2021 මාර්තු මස 19 වැනි දිනෙන් පසුව මෙම ලිපි ගොනුවෙන් කිසිදු ලිපියක් බැහැර වී නොමැති බවට ඒකාබද්ධ අධ්‍යක්ෂ ජනරාල් නුවන් ආලෝක බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව ඉහත ලිපි සියල්ලන්ම ව්‍යාජ ලෙස සකස් කළ ලිපි බවට අනාවරණය වන අතර මෙම වැරැදි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400, 455, 459 යන වගන්ති ප්‍රකාරව සිදුකර ඇති වැරැදි බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම ව්‍යාජ ලිපියක් රැගෙන ආ නදීෂා කුමාරි පෙරේරා නමැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් අතර, රජයේ බැකුවක රැකියාවක් ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා හඳුනාගත් පුද්ගලයකු වෙත රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවස්ථා දෙකකදී බැංකු ගත කර ඇති බවට සඳහන් කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.මේ ආකාරයෙන් එදින පැමිණි පුද්ගලයන් 14 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගත යුතුව ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම අදාළ බැංකු ගිණුම් විස්තර ලබාගෙන සැකකරු කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගත යුතුව ඇති බැවින් පැමිණිලිකාරිය ලබාදුන් බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර ලබාගැනීම සදහා පෞද්ගලික බැංකු දෙකකට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අධිකරණයෙන් එම නියෝග දුන්නේය.
නිමන්ති රණසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval