gota-home-peradeniya

හත්වන විධායක ජනාධිපතිවරයා ගෙදර යැව්ව අපිට ඩීන් කජ්ජක් දැයි කියමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තමන්ට තර්ජනය කරන බව පේරාදෙණිය විශ්වවිශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප‍්‍රභාත් ඒකනායක මහතා ඊයේ (04) පැවැසීය.  පීඨාධිපතිවරයා මේ බව සඳහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඔහු මෙසේද කීවේය.



විශ්වවිද්‍යාලයේ සමස්ත සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රැකදීම සඳහා අප ඉදිරිපත් වෙද්දී දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්වූ සිසුන් පිරිසක් අපට තර්ජනය කරමින් සිටිනවා , මෑත කාලයේ ඇති වූ බරපතළම නවක වද සිදුවීම් නිසා ශාස්ත්‍ර පීඨය මේ වන විට වසා දමා තිබෙනවා. සෑම විශ්වවිද්‍යාලයකම නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් හිරිහැර කරනවා. සමාජයට අනුගත කරන්න, උප සංස්කෘතියට අනුගත කරන්න කියමිනුයි ඔවුන් එසේ හිරිහැර කරන්නේ. මේ නිසා වැදගත් පවුලක ළමයකුට තිබෙන අධ්‍යාපන අයිතිය පවා ඇහිරී තිබෙනවා .

ඔවුන්ගේ අකටයුතුකම්වලට සම්බන්ධ නොවන සිසුන්ට පොදු ආපන ශාලා, ක්‍රීඩාගාරය, පුස්තකාලය වැනි දේවල් භාවිතා කරන්න දෙන්නේ නැහැ. එම තැන්වලට එන සිසුන්ට තර්ජනය කොට පහරදී එළවා දමනවා, විශ්වවිද්‍යාලයේ සිටින සෑම ළමයකුම නිදහස් අධ්‍යාපනයෙන් මෙතැනට ආපු අය. විශ්වවිද්‍යාලයේ පොදු තැන් භාවිතා කිරීමට අලුතෙන් ඉසෙඩ් ස්කෝර් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඒකට කවුරුත් වෙනම අනුමැතියක් දෙන්නත් අවශ්‍ය නැහැ . මේ පහත් වැඩවල ඉදිරියෙන්ම ඉන්නේ ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පිරිසක් .



විශ්වවිද්‍යාලය තුළ පවතින මේ තත්වයන් ජනතාවගෙන් වසන් කළ යුතු නැහැ. එහෙම ඒ අය දැන ගත යුතුයි. මේ ආයතන ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ආයතන. අපිත් වැටුප් ලබන්නේ ජනතාවගේ බදු මුදලින්. පාදඩකරණයට ලක්වූ මේ ආයතන අප ඉන් මුදවා ගන්න උත්සාහ කරන විට අපට තර්ජන එල්ල වනවා. සාමාන්‍ය නීතිය හා අධිකරණ පද්ධතිය සමඟ එකතු වෙලා මේ සම්බන්ධව තදබල ක්‍රියාමාර්ග ගන්නවා. විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් මට සහාය දෙන්න කියා ඉල්ලා සිටිනවා. මට මරණීය තර්ජන තිබුණත් වධකයගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදා ගත යුතුයි. මේ නරුම කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් අතුගා දමන්න උදව් කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටිනවා යැයිද පීඨාධිපතිවරයා පැවසුවේය.

 මහනුවර සෙනෙවිරත්න