panadura-police-incident

පොලිස් පැමිණිලි විභාග කළ බවට අසත්‍ය ප්‍රකාශ සටහන් කර පැමිණිලිකරුවන්ගේ අස්සන් හොරට යොදා පැමිණිලි පාර්ශ්ව මෙන්ම පොලිස් නිලධාරින් ද නොමග යැවූ පානදුර උතුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු ඊයේ (04) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන්  කරයි. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ රාජකාරි කළ කොස්තාපල්වරයකු බව සඳහන් වේ.



පානදුර සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහතාගේ නියෝග මත කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි පැවසෙයි. පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල් හිමියකු බැන තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධ පැමිණිල්ලක් මාස තුනකට අධික කාලයක් විභාග නොවූ බවට පැමිණිලිකරු විසින් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කර ඇති බවත් පානදුර සහකාර පොලිස් අධිකාරිවරයා පරික්ෂා කිරීමේ දී එය පැමිණිලිකරු ඉල්ලා අස්කරගෙන ඇති බවට සටහන් යොදා තිබූ  බවත් පොලිසිය කියයි.



තවදුරටත් පරික්ෂා කිරිමේ දී සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් ඒ ආකාරයට පැමිණිලි 5 ක් නිසි විභාගයකින් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුවත් කිරීමකින් තොරව පැමිණිලි විභාග කළ බවට අසත්‍ය ලෙස සටහන් යොදා පැමිණිලිකරුවන්ගේ අස්සන් හොරට යොදා තිබූ බව ද නිරික්ෂණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

 සුමිත් පොතුපිටිය