hasanjaya-gunawardane-buddika-harshani-dharmawicrema
වත්තල පෞද්ගලික රෝහලක දී සිදු කළ උදර සැත්කමකින් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි විවාහක කාන්තාවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැත්කම සිදු කළ වෛද්‍යවරයාට එරෙහිව ඇයගේ ඥාතීන් පෙරේදා (1) වත්තල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජාඇළ දැල්තුර ප්‍රදේශයේ පදිංචි බුද්ධිකා හර්ෂණී (32) නමැති විවාහක කාන්තාවකි.


උදරය ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙන් ඇය වත්තල හේමාස් පෞද්ගලික රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් සිටිය දී, ඇයගේ පිත්තාශයේ ගල් ඇති බවට නිරික්ෂණය වීම හේතුවෙන් ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවට වාර්තා වේ. ඉහත වෛද්‍යවරයා ඉකුත් පළමු වැනිදා හර්ෂණීට මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්වයක් මත සැත්කම කළ දිනට පසු දින ඇය රාගම රෝහලට ඇතුළත් කර ඇත. රාගම රෝහලේ දින 23 ක් නේවාසික ප්‍රතිකාර ලබන අතර තුර ඇයට නැවත සැත්කම් දෙකක් ද සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම දින 23ක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  හර්ෂණී ඉකුත් 25 වන දින මියගොස් ඇත. මෙම සිද්ධියේ වෛද්‍යවරයාට එරෙහිව ඇයගේ ඥාතීන් නීතිඥවරුන් පිරිසක් සමග  වත්තල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වත්තල පොලිසිය කියයි.

පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි.
ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මින් ඉහත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි.
මෙම වෛද්‍යවරයා වත්තල හේමාස්ට අමතරව   ASIRI CENTRAL HOSPITAL, ASIRI SURGICAL HOSPITAL, BROWNS HOSPITALS, DURDANS HOSPITAL, LEESONS HOSPITAL, NAWALOKA HOSPITAL - COLOMBO, NAWALOKA HOSPITAL - NEGOMBO හා SANTA DORA HOSPITAL - BATTARAMULLA යන රෝහල් වලද චැනලින් සේවාවන් සඳහා සහභාගී වන්නෙකි.