
යාපනය, වැල්වටිතුරෙයි පොලිස් වසමේ නෙල්ලියකාඩු ප්රදේශයේ පිහිටි නිවෙසක තිබී අඹුසැමි යුවළකගේ පිළිස්සුණ මළසිරුරු දෙකක් පෙරේදා (01 වැනිදා) උදෑසන හමු වූ බව වැල්වැටිතුරෙයි පොලීසිය කියයි. එම නිවෙසේ 30 වැනිදා රාත්රියේ අඹුසැමියන් නිදා සිටි කාමරයේ ගින්නක් හටගෙන ඇති බවට මූලික පරික්ෂණවලදී හෙළි වී යැයි පොලිසිය කියයි. මියගිය සැමියාගේ මව සහ පියා කාමරේ ගින්න දැක උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර පසුව ප්රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වුවද ඒ වන විටත් මෙම දෙදෙනා මිය ගොස් සිට ඇතැයිද පොලිසිය සඳහන් කරයි. මේ පිළිබඳව කඩිනමින් වැල්වටිතුරෙයි පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මූලික පරික්ෂණ ආරම්භ කරනු ලැබීය.
අඹුසැමියන් සිටි කාමරයේ ඇඳ ඇතුළු උපකරණද සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර සිරුරු දෙකද දැඩි සෙයින් පිළිස්සී ඇති බවටත් ගින්න ඇති වීමට මෙන්ම අඹුසැමියන් ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටද පොලීසිය පවසයි. ගින්න ඇති වූ කාමරයේ පෙට්රල් පිරවූ කෑනයක්ද තිබී ඇති අතර කෑනය ආසන්නයේ ජංගම දුරකතනයක් ආරෝපණය කිරීම සඳහා විදුලියට සම්බන්ධ කර තැබීම හේතුවෙන් කිසියම් විදුලි කාන්දුවක් වී පෙට්රල් කෑනයට ගින්න ඇතිවී මෙලෙස ගිනි ගන්නට ඇතැයි සැක කරන බවටද පොලිසිය වැඩිදුරටත් පැවසීය. වැල්වටිතුරෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
Comments
Post a Comment
Your comment will be visible after approval