dengue-test-issue

ඩෙංගු රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන 'ඩෙංගු ඇන්ටිජන්’ පරීක්‍ෂණයට අවශ්‍ය ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රෝහල්වල නොමැති බවත්, මේ නිසා පරීක්‍ෂණ කටයුතුවලට බාධා සිදුවෙමින් තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය. සඳහන් කරයි. මීට අමතරව ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශය FBC පරික්‍ෂාවට අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබාදීමද සමාගම් ගණනාවක් මේ වනවිට නවතා දමා තිබෙන බවත්, මේ නිසා එම ප්‍රතික්‍රීයකත් හිඟවෙමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. ප්‍රතික්‍රීයක ලබාදුන් සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැරීම නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවත්, මේ නිසා කඩිනමින් අදාළ මුදල් ගෙවා දැමීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.



ගෙවීගිය වසරක කාලය තුළදී රජයේ රෝහල්වලට ලබාදුන් මෙම ප්‍රතික්‍රීයක ඇතුළු සමස්ත ප්‍රතික්‍රීයක වෙනුවෙන් රුපියල් බිලියන හතරක පමණ මුදලක් අදාළ සමාගම්වලට ගෙවීමට තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවත්, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් හා මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 36ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙන බවත්,එහෙත් පවතින ප්‍රතික්‍රීයක හිඟය නිසා ඩෙංගු පරික්‍ෂණ නතර වන තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.

මේ වසරට අදාළව සෞඛ්‍ය අමාතයංශයේ රසායනාගාර සේවා අංශය වෙත වෙන්කළ ප්‍රතිපාදනවලින් දෙවැනි හා තෙවැනි කාර්තුවට අදාළව මිලියන 125ක් පමණ ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් එම මුදල් මේ වනවිට අදාළ කටයුතුවලට යෙදවීම අහෝසි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය. මීට අමතරව ඉන්දියන් ණය ආධාර යටතේ ලැබී ඇති මුදලෙන් ඩොලර් මිලියන 60ක් පමණ මාස 6ක් තිස්සේ ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඉතිරිව තිබියදී එකම එක රසායනාගාර ප්‍රතික්‍රීයකයක් හෝ ඒ යටතේ ගෙන්වා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(එච්.අයි. තුෂාර)