wannila-eththo-police-cuard

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝට මරණ තර්ජනය කර තැපැල් මගින් ලිපියක් එවීමෙන් පසු ඔහුගේ ආරක්ෂාවට සන්නද්ධ පොලිස් කොස්තාපල්වරයකු ලබාදුන් බව ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීයෙක් පැවැසීය. මීට අමතරව ආදිවාසී නායකයා පදිංචිව සිටින දඹානේ පිහිටි නිවසට දිවා රාත්‍රියේ නිරන්තරයෙන් පොලිස් මුර සංචාර යොදවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි මහියංගණය පොලිසිය කියයි. ආදිවාසී නායකයකුට මෙවැනි ආකාරයට පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇ ත්තේ ප්‍රථම වතාවට යැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජී. අපොන්සු මහතාගේ සහ බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත වැදී නායකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇත්තේ මහියංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ආර්. විජයරත්න මහතා විසිනි. ආදිවාසී පරම්පරාවට ඥාති සම්බන්ධතාවක් ඇති මේ වනවිට රැඳවුම් නියෝග යටතේ පොලිසියේ රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට සහ ආදිවාසී නායකයාට තර්ජනය කරමින් තැපෑලෙන් ලියුමක් ලැබී ඇති බව කියමින් ආදිවාසී නායකයා පෙරේදා (12) මහියංගනය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම ලිපිය ද ආදිවාසී නායකයා විසින් පොලිසියට භාරදී ඇත.

නිර්නාමිකව එවා ඇති මෙම ලියුමේ තැපැල් මුද්‍රාවේ කුරුණෑගල යනුවෙන් සඳහන්ව ඇතැයි මහියංගනය පොලිසිය පවසයි.  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මහියංගණය පොලිසිය පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය