uddika-bandula

පසුගියදා රුසියාවේ පැවති කසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ
'ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සමසම්මාන කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල දිනාගත් අතර මෙම සම්මානය ගන්නට ඔවුන්ට එරටට යාමට අවස්ථාවක් නොවිණි. ඒ වෙනුවට සම්මානය රුසියාවේදී ලබාගත්තේ එම චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධනයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අද සිනමා නළු උද්දික ප්‍රේමරත්න මෙම කාරණාව ගැන කියමින් ඇමති බන්දුලට සමච්චලයක් සිදු කළේය.
කසාන් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී කීය.



උද්දික ප්‍රේමරත්න සඳහන් කලේ  එම සම්මාන උළෙලට සහභාගිවීමට කුමාර තිරිමාදුර , සරත් කොතලාවල රංගන ශිල්පීන්ට නොහැකි වූයේ ගුවන් ටිකට් ලබා ගැනීමේ ගැටලුවක් නිසා බවද චිත්‍රපටයේ ආදායම ලෙස එහි අධ්‍යක්ෂ වූ කුමාර තිරිමාදුර රුපියල් හතළිස් ලක්ෂයක් චිත්‍රපටයේ නිෂ්පාදක වන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට ලබාදී තිබියදී අවම වශයෙන් එම මුදලින් හෝ කුමාර තිරිමාදුරට සහ සරත් කොතලාවලට ටිකට් පත් දෙකක් අරගෙන දීමට ඇමැතිවරයා කාරුණික වුයේ නැති බවයි.

'හොඳම නළුවාට හිමි සම්මානය ගන්න රුසියාවට ගියේ ඇමැතිවරයා විතරයි. සංවිධායකයන් හිතන්න ඇති මේ එන්නේ නළුවන්ගෙ තාත්තා කියලා.ඔන්න ඔහොමයි වෙච්ච දේ.' උද්දික කීය.

'මට මේ ගැන කරන්න තිබෙන හොඳම පැහැදිලි කිරීම තමයි ‘සොර දෙටුවෙක්” ගීතය.


දංගෙඩියට ගෙන යන සොරා දංගෙඩියටත් ඇලුම් කළා කියලා ඉන් කියැවෙනවා. අපේ රටේ ඇමැතිවරුත් එහෙමයි.
අනෙකාගේ සතුට දැකලා සතුට වෙන්න ඒ අය කැමති නැහැ. සම්මානය රැගෙන ආ ඇමැතිවරයා පිළිගන්න කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගුවන් තොටුපොළට ගියා.
විය යුතුව තිබුණේ අනෙක් පැත්ත. සම්මානය අතැතිව සිටින ඇමැතිවරයාත් ඒ සම්මානය දෙස බලා සිටින නළුවන් දෙදෙනාගේත් ඡායාරූප පස්සේ පත්තර වල පළ වුණා .
මෙරටට පැමිණි පසුවත් නියම හිමිකරුවන්ට සම්මානය ලබා දීමට ඇමැතිවරයාට හදිසියක් තිබුණේ නැහැ.' උද්දික කීය.