the-newspaper-sarath-kumara-bandula

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ (The Newspaper) සිංහල චිත්‍රපටය කසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීහු එහිදී (හොඳම නළුවා) සම්මානයට පාත්‍ර වූහ. මෙම සම්මානය ලබාගන්නට සරත්ට හෝ කුමාරට රුසියාවට යන්නට හැකියාවක් නොලැබුණි.

නමුත් නිෂ්පාදක බන්දුල ගුණවර්ධන එහි ගොස් සම්මානය ලබා පැමිණියේය.
මේ ආකාරයට සම්මානය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී කතාවක් කළේය. ඔහු කියා සිටියේ බන්දුල ගුණවර්ධන නළුවන් දෙන්නාගේ තාත්තා ලෙස සම්මාන උළෙල නියෝජනය කළ බවයි. ඔවුන් එක්කගෙන යාමට හෝ සම්මානයේ නිසි ගෞරවය ලබාදීමට බන්දුල උනන්දු නොවූ බව ඔහු චෝදනා කළේය.
මෙම සම්මානය දිනාගැනීමෙන් පසු සතිඅන්ත පුවත්පත් වලට සරත් සහ කුමාර අදහස් දක්වා තිබුණි.
සරත් කොතලාවල අනිද්දා පුවත්පතට මෙසේ කියා තිබුණි.

'චිත්‍රපටය සැලසුම් කරලා අවුරුදු හතරක් විතර අපි නිෂ්පාදකයා සොයමින් සිටියා. ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදකවරයා විදිහට හමුවන්නේ අහම්බෙන්. ඔහු මගේ උසස්පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයා. කවදාවත් අධ්‍යක්ෂණය කරලා නැති කෙනෙක්ට ලක්ෂ දෙසීය විතර දෙනවා කියලා කියන්නේ හරි අවදානම් වැඩක්. අපි අධ්‍යක්ෂණය කරන්න මුලින්ම සිතාගෙන සිටියේ නැති නිසා කුමාර පිටපත විවිධ අධ්‍යක්ෂවරුන්ට දීල  බැලුවා.

අපි සිතුවේ එහෙම කෙනෙක් ඒ  නිෂ්පාදකයෙක් සොයාගෙන පටන් ගනී කියලා. පිටපත බලලා බන්දුල ගුණවර්ධන, මහතා ඉල්ලීමක් කළා අපිටම අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒ අනුව අහම්බෙන් තම අපි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ගියේ.'

දේශය පුවත්පතට කුමාර තිරමාදුර මෙසේ කියා තිබුණි.
'මේක මටවත් සරත්ටවත් ලැබුණු සම්මානයක් නෙමෙයි. මේක අපේ රටට, අපේ සිනමාවට ලැබුණු සම්මානයක්. එහෙමයි සරත් වගේම මාත් හිතන්නෙ. ජයග්‍රහණය ලබපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපිත් සුබ පතනවා. ඔවුන් එක්ක කිසිම තරහක් මගේ හිතේ නැහැ. නමුත් මුළු ලෝකයම බබලවපු සිනමා නිර්මාණයක් ලබපු ජයග්‍රහණයට නිසි ඇගයීමක් ලැබුණෙ නැහැ. ඇත්තම හිතට දුකක් තියෙනවා. තව සිනමා පිටපත් කිහිපයක්ම අපි දෙන්නා ළඟ තියෙනවා. ඒත් තවමත් අපට නිෂ්පාදකවරයෙක් ලැබුණෙ නැහැ. රට සනසපු අපි දුකෙන්. රට වනසපු අය සතුටින්.''