maththegoda-bus-lover
මේ කතාව පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් මැවූ  බසයක් උස්සා පෙම්වතිය බැලීමට ගිය අවුරුදු පහළොවේ මලින්ද නමැති පෙම්වතා ගැනය.
“ඔයා එනවද අද රෑ මාව බලන්න? පුළුවන් නම් එන්න. මං බලාගෙන ඉන්නම්."

මලින්දට ඒ දුරකතන ඇමතුම ලැබුණේ ඔහුගේ පෙම්වතියගෙනි. ඒ පසුගිය 11 වැනිදා රෑ අටකුත් ගාණටය.



“මං දැන් කොහොමද මෙයා බලන්න යන්නෙ? මේ වෙලාවට වාහනත් නෑ."

පෙම්වතියගේ ඇරයුමත් සමඟ මත්තේගොඩ සිටි මලින්දට හිතුනේ එහෙමය. එහෙමයි කියා ඇගේ අහිංසක ඉල්ලීම අහක දාන්නටද බැරිය. ඒ නිසා මලින්ද කෝකටත් කියා මොරගහහේන ප්‍රදේශයේ සිටි ඔහුගේ පෙම්වතිය බලන්න යන්නට සිතා පාරට බැස්සේය. පසුව ඔහු කෙළින්ම ගියේ පිළියන්දල බස් නැවතුමටය. කරුමයක මහත... බස් නැවතුමේ ගාල්කර තිබූ බස්රථ කිහිපයක් හැරෙන්නට මොරගහහේනට යන්නට එකදු බසයක්වත් තිබුණේ නැත.

“දැන් ඉතින් මොකද කරන්නේ?"

එසේ සිතු මලින්දගේ හිතට අපුරු එහෙත් හිතුවක්කාර අදහසක් ආවේය. ඒ බස් නැවතුමේ ඇති බථයක් රැගෙන  පෙම්වතිය බැලීමට යාමයි. නවතා තිබූ බස්රථයකට ගොඩවී බලදී ඔහුගේ වාසනාවටදෝ රථයේ යතුරත් එහි යතුරු කටේම තිබුණි. ඉතින් දෙපාරක් හිතන්නට උවමනා වූයේ නැත. හිතුවක්කාරයා දුරදිග නොබලාම බස්රථය පණගන්වා පාරට දැමුවේය.

මේ අතරවාරයේ බස්රථවල රියැදුරු මහතුන් බස් නැවතුමට නුදුරේ වූ ස්ථානයක ජංගම දුරකතනවලින් එදින පැවති ආසියා කුසලාන තරගය නරඹමින් සිටියහ. ශ්‍රී ලංකා ඉනිම නිමාවත් සමඟ ඒ අතරින් දෙතුන් දෙනෙක් බස්රථ අසළට පැමිණියේ කෑමට යමක් ගෙන එන්නටය. ඒ මොහොතේ එතැන වූ එක් බස්රථයක් අඩු බව ඔවුන්ට දක්නට ලැබුණි. පමාව නුවණට නුහුරු බව සිතු ඔවුන් එසැනින්ම කළේ ළගම තිබූ පිළියන්දල පොලිසියට ඒ ගැන පැමිණිලි කිරිමය.



“එදා අපි කොළඹ දිස්ත්‍රික්කයේ බීමත් රියැදුරන් අල්ලන විශේෂ මෙහෙයුමක නියැලිලා හිටියේ. ඒ නිසා මං අපේ හැම කණ්ඩායමක්ම දැනුවත් කළා. මමත් මගේ කණ්ඩායමක් එක්ක ගියා. ඒත් කිසිම ආරංචියක් ලැබුණේ නෑ. ඒ වෙලාවේ හරියටම රෑ 12.20ට වගේ ඇති. මං හිටියේ කොට්ටාව කලර් ලයිට් එක ගාව. එහෙම ඉන්නකොට මං දැක්කා බස් එකක් ටිකක් අමුතු විදියට වගේ එනවා. ඒ කියන්නේ කලර් ලයිට් එක ගැනවත් කිසිම අවධානයක් තිබුණේ නෑ. ඒක නිසා මට බස් එක ගැන සැකයක් ආවා. ඊටපස්සේ අපි ඒක නවත්තලා බැලුවා. ඒත් එක්කම එළවගෙන ආපු රියැදුරා පැනලා ආවා. හරි පුංචි කොල්ලෙක්. අපිත් එයාගේ පස්සෙන් පැන්නුවා. එහෙම පන්නලා කොහොමහරි අල්ලගත්තා. පස්සේ බලද්දී අපේ සැකය හරි. ඉතින් ඒ වෙලාවෙම ළමයව පොලිස් හාරයට ගත්තා. මේ වෙනකොට අපි ඒ ගැන වැඩිදුර විමර්ශන කරගෙන යනවා "

ඒ පිළියන්දල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා කී කතාවය. ඔහු පවසන ආකාරයට මලින්ද මත්තේගොඩ වසමේ පදිංචිකරුවෙකි. ඔහු මොරගහහේන ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය කියාගන්නා තරුණිය බැලීමට මෙලෙස බස්රථයක් පැහැරගත්තේ පළමු වතාවට නොවේ. මීට හය මසකට උඩදීද ඔහු හෝමාගම බස් නැවතුමේ තිබු බස්රථයක් මෙලෙසින්ම පැහැරගෙන එකී පෙම්වතියම බලන්නට ගොස් තිබුණි. පසුව ඔහු ඒ බස්රථය යළිත් තිබූ තැනටම ගෙනැත් තිබුණේ මිතුරන් පිරිසක් සමඟ කතරගම සංචාරයක්ද ගොස්තුන් දිනකුත් ගතවූ තැනය.  

“මේ ළමයගේ අම්මා අපි පොලිසියට කැඳෙව්වා. එයා කියනවා පුතා ටිකක් කියන දේ අහන්නේ නෑ කියලා. අට වසරට විතරයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ කියලත් කිව්වා. කලින් ඒ ළමයා අපිට කියලා තිබුණේ එයාට වයස අවුරුදු 17යි කියලා. හැබැයි අම්මා පොලිසියට කිව්වා පුතාගේ වයස තාම අවුරුදු 15ක් කියලා.




සියල්ලන්ගේම කතා මැද කාටත් දැනගන්නට උවමනා වූයේ බස්රථය පැහැරගත් දරුවා කියන කතාවය. ඔහු කිසිඳු බියක් සැකක් නැතිව පොලිසිය ඉදිරියේ කියා තිබුණේ මෙවැන්නකි.

“සර් අපේ තාත්තා වෙන ගැහැනු අයත් එක්ක සම්බන්ධකම් තියෙන කෙනෙක්. එයා අපි ගැන හොයලා බලන්නේ නෑ. මං ඉස්කෝලේ ගමනත් නවත්තලා ඉන්නේ. සමහර දවස්වලට බස්වල කොන්දොස්තර සහායක විදියට යනවා. ඒ ගිහින් හම්බවෙන සල්ලිවලින් තමයි අම්මව බලාගන්නේ. එදා රෑ මං යාළුවෙලා ඉන්න ගෑනු ළමයා මට කෝල් කරලා කිව්වා බලන්න එන්න කියලා. ඒත් ඒ වෙලාවේ පිළියන්දල බස් ස්ටෑන්ඩ්  එකට ඇවිත් බලද්දි බස් තිබුණේ නෑ. මට බස් පොඩ්ඩක් එළවන්න පුරුදුයි. ඉතින් මං එතැන තිබුණු බස් එකක් අරන් යන්න හිතුවා."

මලින්ද යතුරුපැදියක් හෝ ත්‍රීරෝද රථයක් වැනි සාමාන්‍ය වාහනයක් රැගෙන ගියා නම් මෙය සාමාන්‍ය කතාවක් වෙන්නට ඉඩ තිබුණි. එහෙත් මලින්ද පෙම්වතිය  බලන්නට ගියේ දොර දෙකේ ලේලන්ඩ් බස්රථයකිනි. ඔහුට රියැදුරු බලපත්‍රයක් නැත. 100% බස්රථයක් ගෙනයාමේ හැකියාවද නැත. බස්රථය රැගෙන ගියේ” හොරෙනි. ඒ නිසා ඔහුගේ ක්‍රියාව අයත් වන්නේ පැහැරගැනීමකටය. මෙවැනි දාහකුත් ප්‍රශ්න එන බව දැන දැනත් අවසානයේ ඔහු පෙම්වතිය බලන්නට ගියේය. බලා ආවේය. කොටුවුණේ ඒ එද්දීය. දුරදිග නොබලා මලින්ද කළ දේ අනුමත කරන්නට බැරිය.

භාතිය වෙඩිවර්ධන (ධරණී)