solar-panel-system-for-religious-places

බෞද්ධ විහාරස්ථානවලට පමණක් නොව විදුලි බිල සම්බන්ධයෙන් රට පුරා ඇති සියලුම ආගමික ස්ථානවලට සහනයක් සැලසෙන පරිදි සූර්ය පැනල ව්‍යාපෘතියක් ආගමික ස්ථානවල ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.



විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සංඝයා වහන්සේලාගෙන් එල්ල වෙමින් තිබෙන විරෝධය පිළිබඳ පෙරේදා (22 වැනිදා) කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ සිදු කෙරුණු දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරුන් ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදු කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පූජනීය ස්ථානවලට විදුලි බිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන පරිදි මෙම සූර්ය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.



එමෙන්ම පූජනීය ස්ථාන සඳහා අනෙකුත් සහන සැලසීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද කී ඇමැතිවරයා ආගමික ස්ථාන සඳහා රජය ස්ථිර වශයෙන්ම සහනයක් ලබා දෙන බවද සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.