ජනපති රනිල් වික්‍රමසිංහ හොඳ පොත් කියවන්නෙක් සහ පොත් එකතු කරන්නෙක් බව දන්නෝ දැන සිටියත් නොදන්නෝ ඒ බව හොඳින්ම දැනගත්තේ 2022 අරගලයට පින්සිදුවන්නටය.

ඒ අරගලකාරයින් රනිල්ගේ නිවස ගිනිබත් කරද්දී වටිනා කියන පොත්පත් දෙදහස් පන්සියයක් පමණ තිබූ ඔහුගේ පෞද්ගලික පුස්තකාලයත් එයින් ගිනිබත්වූ නිසාය. ඒ ගැන රටේ බොහෝ දෙනෙක් කතා කළ නිසා රනිල් වික්‍රමසිංහගේ පුස්තකාලය ගැන නගරයේ පමණක් නොව ගම් දොරවල් අස්සේ ද කතා කෙරුණේය.

මේ රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපතිවරයාය. ඔහු රටේ නායකයා වූවා කියා පොතට පත වෙනුවෙන් වෙනදා වෙන් කළ කාලය ඉවත් කළේ නැත. ඒ නිසා හැම අවුරුද්දක සේම සුපුරුදු ලෙස මේ අවුරුද්දේත් බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන සැප්තැම්බරේ මහා පොත් මංගල්ලයට ඔහු ඇවිත් ගියේය. ඒ සැප්තැම්බර් 22 වැනිදාය.

රනිල් වික්‍රමසිංහ පොත් ප්‍රදර්ශනයට එන්නට ගත්තේ අද ඊයේ පටන් නොවේ. ඔහු විපක්ෂ නායක කාලයේත් කිසිදු ආරක්ෂකයෙකු හෝ නැතිව පොත් ප්‍රදර්ශන භූමියට පැමිණ ඇවිද ගිය බව පොත් සාප්පු හිමියන්ට මතකය. ඒ ඇවිදින අතර ඔහු විශේෂයෙන් මදක් නැවතී රැඳෙන පොත් සාප්පු හය හතක් ද ඇත. ඒවායේ රාක්කවල ඇති පොත් බලමින් එහි සිටින අය හා වචනයක් දෙක කතා කරන රනිල්ගේ වඩා වැඩි අවධානය දිනාගන්නා පොත ඔවුන් විසින් ඒ මොහොතේ පරිත්‍යාග කරනු ලබන්නේය. මේ වසරට පෙර අවසන්වරට පොත් ප්‍රදර්ශනය පැවති 2020 වසරේ ඔහු ප්‍රදර්ශන භූමියට පැමිණියේ රටේ අගමැතිවරයා ලෙසිනි. එදා ඔහු ලද පොත් අතර විශේෂ අවධානයක් ලැබූ පොත වූයේ සමයවර්ධන පොත් හලෙන් තිළිණ ලද වෛද්‍යාචර්ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් ලියන ලද මහා සිංහලේ තෙල් බෙහෙත් පොතය. පොත අතට ගෙන එහි පිටු පෙරළූ අගමැතිවරයා එය "හොඳ පොතක්" බව කියා පැමිණ සිටි පිරිස සමගත් ඒ පොත ගැන ඒ මොහොතේ කතා කළේය.



මෙවරත් රනිල් වික්‍රමසිංහයන් පොත් ප්‍රදර්ශන භූමියේ ඇවිද යන අතරේ ආරියදාස වීරමන්ගේ සමයවර්ධන කුටිය ළඟට ආවේය. එදා තෙල් බෙහෙත් පොත වෙනුවට සමයවර්ධන කුටියේ මෙදා වික්‍රමසිංහයන්ගේ ඇස ගැසෙන්නට තිබුණේත් අල්ගමවත්තේ සුමනවංශ හිමියන් ලියූ " චින්තාමණී මහා රාජකීය යන්ත්‍ර රත්නය" පොත සහ වෛද්‍ය නුවන් තොටවත්තගේ භාෂා තුනෙන්ම මුද්‍රණය වූ මගේ ඇඟ මගේ පොත් කට්ටලයයි.

"මේක කාටත් වටින පොතක්...."

‘‘මගේ ඇඟ මගේ’’ පොත් දෙස බලමින් ඔහු කීවේය. සුමනවංශ හාමුදුරුවන්ට ‘චින්තාමණී මහා රාජකීය යන්ත්‍ර රත්නය’ පොත ලියන්නට අවුරුදු දහයක් ගතවී තිබුණි. ඒ විවිධ පර් යේෂණ කරමින් හැම දේකටම හරියන බව කියන යන්ත්‍ර වර්ග දෙදහස් පන්සීයක් ඊට ඇතුළත් කර ඇති නිසාය. පොත ගැන කළ විස්තරය රනිල් වික්‍රමසිංහයන් ඕනෑකමින් අසාගෙන සිටියත් ඔහු මෙවර ඒ පොත් රැගෙන ගියේ නැත. හැමදාමත් සේ රනිල් විදර්ශන පොත් කුටිය ළඟද මෙවරත් නැවතුණේය. ඒ මොහොතේ එහි හිමිකරු ජනක ඉනිමංකඩ එහි නොසිටි අතර විදර්ශන කුටියේ සිටියේ ඔහුගේ දියණියයි. රනිල් එන බව දැනගන්නට ලැබුණ නිසා, ඔහුට තිළිණ කළ යුතු පොත ගැන ජනක දියණියව කලින්ම දැනුවත් කර තිබුණි.

ඇය රනිල් ළඟට ගියේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියූ ‘‘විශ්වවිද්‍යාලය යනු කුමක් ද’’ පොත රැගෙනය.

"තාත්තා කිව්වා මේ පොත දෙන්න කියලා...."

ඇය රනිල් වික්‍රමසිංහට මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ පොත තිළිණ කරමින් කීවාය. ඔහු අතට ගත් පොත දෙතුන් වරක් ඒ මේ අත පෙරළුවේය. එය ලංකා විශ්වවිද්‍යාලය එක්දහස් නවසිය විසි ගණන්වල ආරම්භ කිරීමේදි විශ්වවිද්‍යාලය පිළිබඳව තිබුණ ආකල්පය සහ ලෝකයේ විශ්වවිද්‍යාල ගැනත්, ඒවායේ අධ්‍යාපනය ගැනත් ශිෂ්‍යයා පිළිබඳව තිබෙන ආකල්ප සහ අද වෙන විට ලංකාවේ විශ්වවිද්‍යාලවල ඒ තත්ත්වය පහළට පත් වී තිබීමත් සාකච්ඡා කරන පරිච්ඡේද හතක ශාස්ත්‍රීය කෘතියකි.

"මේ පොත හැමෝම කියවන්න ඕන පොතක් "

රනිල් කීවේය. 2020 වසරේ විදර්ශන පොත් කුටිය ළඟට ආ රනිල් වික්‍රමසිංහගේ සිත් පැහැරගත් දෙයක් එහි තිබුණේය. ඒ ඝනකම්ව මුද්‍රණය වූ පොත් කවරය.

" හරි හොඳ දෙයක් හාඩ් කවර් පොත් ගහන එක. ඒක කලෙක්ටර් කෙනෙකුට හරි වටිනවා...."

ඔහු ද හොඳ පොත් එකතු කරන්නෙකු නිසාම ජනක ඉනිමංකඩට එදා එසේ කීවේය.

ප්‍රේම් දිසානායකගේ ෆාස්ට් පොත් කුටිය ළඟත් රනිල් නැවතුණේය. ඒ මොහොතේ එතැනින් ඔහුට තිළිණ ලද්දේ පියල් පනාපිටිය සිංහලයට පරිවර්තනය කළ ආර්.කේ නාරයන්ගේ ‘‘ගමනාන්ත පොත’’ සහ කුමාරි වැළිහිඳ සිංහලයට පරිවර්තනය කළ බිභූතිභූෂන් බන්ද්‍යෝපාධ්‍යගේ ‘අන්නාපූර්ණා’ පොතයි.

" හොඳ පොත් දෙකක්නෙ පරිවර්තනයට තෝරගෙන තියෙන්නෙ. ආර්. කේ. නාරයන්ලගෙ පොත් ලංකාවෙ පාඨකයන්ට විශේෂයි"



අලුත් සුවඳ විහිදෙන පොත් පිටු ඒ මේ අත පෙරළා බලමින්, ඔහු ප්‍රේම් දිසානායක සමග කීවේ මේ මුල් ලේඛකයන් ගේ පොත පත කොතෙක් වටින්නේදැයි දන්නා නිසාය.

ඒ ඇවිදයන අතරේ පුරුදු ලෙස එච්.ඩී.පේමසිරිගේ සරසවි පොත් කුටිය ළඟද ඔහු නැවතුණේය. ඒ මොහොතේ සරසවි කුටිය තුළ ලේඛක පාඨක හමුවක් ද පැවැත්වෙමින් තිබුණේය. ජනපතිවරයාට සරසවි පොත් කුටියෙන් පොත් හතරක් තිළිණ කළේය.

" මේ පාර ස්වර්ණ පුස්තක සම්මානය ලැබූ පොත.."

චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිසංස නවකතාව ඔහුගේ අතට දුන් මොහොතේ ඔහු කිසිවක් නොකියා සිනාසුණේය. අනතුරුව තවත් ඉංග්‍රීසි පොත් තුනක් සරසවි කුටියෙන් වික්‍රමසිංහයන්ට තිළිණ වුණේය. ඒ අශෝක් ෆෙරීගේ ‘‘un marriageable man,’’ කෙන් පීස් සහ අශාන් පීරිස්ගේ ‘‘roshan mahanama,’’ සහ අනුක් අරුද්ප්‍රගාසම්ගේ ‘‘A passage to north’’ පොත් තුනයි. සරසවි කුටිය ළඟදී රනිල් තවත් විශේෂ කරුණක් මතක් කළේය. ඒ ලබන වසරේ පැවැත්වෙන 75 වැනි නිදහස් උළෙල ගැනයි.

" ඒ නිදහස් උත්සවේ විශේෂ සැමරීමක් කරන උත්සවයක් පවත්වන්න අවශ්‍යයි. ඒ හින්දා ඔබලාගේ සංගමෙන් එදාට මේ වගේ පොත් ප්‍රදර්ශනයක් පවත්වන්න පුළුවන් නම් වඩා හොඳයි.."

බියංකා නානායක්කාර - Aruna