
කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගියදා ආරම්භ කෙරුණා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ආයතනය ඒකාබද්ධවයි මෙම පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාව ආරම්භ කෙරුණේ. සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙම බෝට්ටු ධාවනයේ දී කිසිදු ශබ්දයක් ඇති නොවන අතර ඉන්ධන වැයවීමක්ද සිදුනොවේ.
ජලජ සත්වයින්ට මෙන්ම දියත උයන ආශ්‍රිතව සැරිසරන කුරුල්ලන්ගේ ජීවන චක්‍රයට බාධාවක් ද ඇති නොවන බවයි නිලධාරීන් පවසන්නේ. බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා මෙම බෝට්ටු මගින් විනාඩි 30 ක් ඇතුළත ළගාවීමට හැකියාවක් ලැබෙනවා. බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 200 ක මුදලක් ද අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 300 ක මුදලක් ද අය කෙරෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval