විදුලි බල මණ්ඩලය ලද පාඩු සියල්ලම ජනතාවගෙන් ආවරණය කර ගැනීම වහාම නතර කර විවිධ ආයතනවලින් ලංකා විදුලි බල මණ්ඩලයට අය විය යුතු රුපියල් බිලියන 36ක ණයගැති ශේෂය වහා අය කරගත යුතු බව විරෝධතා රැලියක්  පවත්වන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.



අදාළ මුදල් නිසි ආකාරව අයකර නොගැනීම නිසා අද වන විට පීඩා විඳින්නේ ජනතාව බව මෙම සංගමයේ ලේකම් සංජිව ධම්මික අප කළ විමසුමකදී පැවසුවේය.

මණ්ඩලයේ සිටින විසිහය දහසක් වන මානව සම්පත හා දහසක් පමණ වන ඉංජිනේරුවන් සංඛ්‍යාව වහා කළමනාකරණය කළ යුතු බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

උද්ධමනය සියයට හැත්තෑපහකින් හා ආහාර උද්ධමනය සියයට අනූපහකින් වැඩි වී ඇති අවස්ථාවක සහ බැංකු සහ මූල්‍ය ආයතනවල පොලී ප්‍රතිශතය සියයට දහඅටත් තිහත් අතර අනුපාතයකින් වැඩිකර ඇති අවස්ථාවක විදුලි බිල ගෙවීමට තරම් මුදලක් ජනතාව සතුව ඉතිරි නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.



එබැවින් දැන් කළ යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විගණනය කර දූෂිතයන් සොයා ඔවුන්ට දඬුවම් ලබාදීම යැයි ලේකම්වරයා කීවේය.

විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් උදුරාගෙන වංචනික ගනුදෙනු වසා ගැනීම සඳහා එම බර ජනතාව මත පැටවීමට එරෙහිව මහජන සභාව, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය, ආගමික නායකයන්, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන එකමුතුව විසින් අද (20 වැනිදා) පස්වරු 4.00ට කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා රැලියක් පවත්වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අශිකා ජයවීර