laggala-police-operation

පොලිසියේ අමුතුම නීතිය නැවිල්ලක් ගැන අනාවරණය වන්නේ ලග්ගලිනි. මාතලේ - පොලොන්නරු දිස්ත්‍රික් මායිමේ පටන් මැණික් ඉල්ලම් පිහිටි ඉඩම් අල්ලන්නට වෙර දරන බාර් හිමියකු හා ඔහුට සහාය වන ​පොලිසියේ ඇතැමුන්ගේ කෙරුවාව ගැන ​තොරතුරු මෙසේ ගලා එන්නට පටන් ගෙන ඇත.

ඒ එක්වරම නින්දෙන් ඇහැරුණාක් මෙන් ලග්ගල පොලිසිය හතරවටින් වැටලීම් කර බොරු චෝදනාවලට පුද්ගලයන් රිමාන්ඩ් භාරයට පත්කරන අමුතු මෙහෙයුමක් නිසාය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවා පුදුම වී ඇත්තේ හදිසියේම අලුත් පොලිස් ස්ථානාධිපතිවරයකු ලග්ගලට පැමිණ ඇති බව සිතාගෙනය.

නමුත් මේ ගැන සොයා බැලීමේදී හෙළිවන්නේ ලග්ගල පොලිසිය එක්වරම නින්දෙන් ඇහැරී කරන අමුතු සෙල්ලමක් ගැනය. එක් ව්‍යාපාරිකයකු ගොඩදාන්න සියලු මෙහෙයුම් කරන බවය.

මේ සම්බන්ධව පුවත්පත් අනාවරණය සමග මෙකී ව්‍යාපාරිකයා නීතිවිරෝධිව කැපූ පතල් පවා පෙරේදා (18 වැනිදා) රාත්‍රියේ හදිසියේම ටිපර්වලින් ගෙනත් පස් පුරවා වසන්නට පටන් ගෙන ඇති බව අනාවරණය වේ.



ලග්ගල කට්ටදෙණිය, දාස්ගිරිය ලොකු බණ්ඩාගේ ඉඩමද එවැනි හදිසියේ පිරවූ එක් ඉඩමකි. මෙම ඉඩම මෙන්ම කට්ටදෙණියේ කැලේ කඩේ පාරේ ඉඩමක බලපත්‍ර නොමැතිව බැකෝ යන්ත්‍ර දමා ඉල්ලම් කැපීම දිගින් දිගටම සිදුවන්නේ පොලිසිය පෙනී පෙනීමය.

පොලිසිය බාර් හිමියාට එරෙහි නොවුණු නිසා ගම්මුන් තම පාර රැකදෙන ලෙස ඉල්ලා ලග්ගල ප්‍රාදේශීය ලේකම්ට පෙත්සමක් භාරදුන්නේ සති දෙක තුනකට ඉහතදීය. එම පෙත්සමට මුල් වූ දසනායක නමැති අයටද ජාවාරම්කරුවන්ගේ බලපෑම් එල්ල වීම නිසා ඔහු නිශ්ශබ්ද වීමෙන් ගමේ විරෝධය තාවකාලිකව යටපත් විය.

පොදු දේපළවලට වූ හානි සොයා යන ලග්ගල පොලිසිය ගම්මුන්ගේ ඉල්ලීම කනකට නොගෙන බලපත්‍ර නොමැතිව කපන ඉල්ලම් බාර් හිමියාගේ ඉඩමට රැගෙන යාමට ඉඩ සලසා දී ඇතැයි සාක්ෂි සහිතව ගමේ අය පෙන්වා දෙති.

හොර හරක් ජාවාරම්වලට හා නීතිවිරෝධී තැබැරූම්වලට කප්ගසා එක්වරම මැණික් නිසා ප්‍රකෝටිපතියකු වූ මෙම ව්‍යාපාරිකයා වෙනුවෙන් පොලිසිය මෙතරම් රැකවරණ දෙන්නේ ඇයි දැයි යන්න දැන් හෙළිව ඇත. ගම්මුන් හා අනෙක් මැණික් ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ ගමම බියවද්දවා පොලිසිය තමාගේ අතේ යැයි පෙන්වා ඉඩම්වල බලය ඇල්ලීම මෙම කණ්ඩායම්වල දීර්ඝ කාලීන සැලැස්ම බවය.

මේ සඳහා ලග්ගල පොලිසිය මුලින්ම අත තැබුවේ ප්‍රසාද් බණ්ඩාර නමැති ව්‍යාපාරිකයා මුදියන්සේ නමැති අයගේ හත්තොටඅමුණ ප්‍රදේශයේ බලපත්‍ර ගෙන මැණික් කැපූ ඉඩමටය. එහි කැණීම් කළ බැකෝ යන්ත්‍රයේ රියැදුරා අත්අඩංගුවට ගෙන නාවුල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේය. ප්‍රධාන මාර්ගයට හානිකර ඇති බව පොලිසිය ඔහුට නැගූ චෝදනාවය. ඇප ලබා නොදී රිමාන්ඩ් කරවීමේ පොලිස් මෙහෙයුමේ පළමු අදියර එය විය. දින හතරක් රිමාන්ඩ් භාරයේ තැබූ රියැදුරුට ඇප නියම කරන්නේ නාවුල මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගයට කිසිදු හානියක් නොවූ බවට දුන් වාර්තාව නිසාය.

එයින් නොනැවතුණු ලග්ගල පොලිසිය පසුගිය බදාදා (14 වැනිදා) තවත් එවැනි වැටලීමක් කළේය. ඒ ලග්ගල, දේවාලදෙණියේදීය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍ර ඇති ඉඩමක් වැටලීමට යාමේදී මැණික් සංස්ථාවේ නිලධාරීන් රැගෙන යා යුතු වුවත් පොලිසිය සියලු මෙහෙයුම් කරන්නේ තනිවමය. බලපත්‍ර ඇති ඉඩම්වල බලපත්‍ර කොන්දේසි කඩකර ඇතිනම් ඒවාට දඩ නියම කිරීමට බලය ඇත්තේද මැණික් සංස්ථාවටය.

පොලිසිය මෙම පතල වටලන දිනය වනවිටත් එහි ඇළ ඉවුරකට සිදුවූ හානියකට සංස්ථාවෙන් දඩයක් නියම කර තිබී ඇත.

එය පෙන්වා දී තිබියදීත් ගොරක දඩමස් කරන්නට ආ ලග්ගල පොලිසියේ නිලධාරීන් එහි සේවකයන් සමග මැණික් හා යන්ත්‍රෝපකරණද තම භාරයට ගෙන ඇත්තේය.

ඇළ ඉවුරට හානි කළ බව කියමින් පසුදින (15 වැනිදා) මාතලේ අධිකරණයට අත්අඩංගුවට ගත් සිව්දෙනා ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනතින්ය. මැණික් සංස්ථාව මෙම වරදට රුපියල් එක්ලක්ෂ අසූපන්දාහක දඩයක් නියම කර තිබියදී පොලිසිය අධිකරණයට එය සඟවා මෙම පිරිසට යළිත් එකම වරදට දඬුවම් දෙන්නට උත්සාහ ගත්තේය. මෙය ඇප ලබානොදිය හැකි වරදක් බව පෙන්වන්නට පොදු දේපළ පනතින් නඩු දමන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඇළක් කැපූ බව පෙන්වමිනි. වාරිමාර්ගයෙන් වාර්තාවක් ලැබෙන තුරු සිව්දෙනා රිමාන්ඩ් කරවීමට පොලිසිය පියවර ගත්තේය.

නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තු මාතලේ කාර්යාලය මෙය වාරිමාර්ගයට අයිත් නොවන බවට පෙන්වා දී ඇත. වතුර බැසයන කුණු ඇළක ඉවුරක් කැඩීයාමේ වරදට මෙම පිරිස රිමාන්ඩ් භාරයට පත්කර පතල් පොළේ මැණික් ඉල්ලම් හා බැකෝ යන්ත්‍රද පොලිසියේ භාරයට ගෙන තිබිණි.

ඉන් නොනැවතී මෙහිදී අල්ලාගත් සිව්දෙනාගේ වගතුග සොයන්නට අවිස්සාවේල්ලේ පදිංචි දෙදෙනකුගේ නිවෙස්වලට පොලිස් බුද්ධි අංශයෙන් කියාගත් පිරිසක් යවා බියවද්දවන්නටද පියවර ගෙන තිබේ. නීතිය නවන දූෂිත නිලධාරීන් මේ අයුරින් බලය පාවිච්චි කරන්නේ බාර් හිමි ව්‍යාපාරිකයා හට ඉඩම් අල්ලාදෙන ව්‍යාපෘතියකට බව ගම්මු නගන චෝදනාව මෙයින් තවත් සනාථ වන්නේය.

ලග්ගල, වත්තෙමුල්ලේ පිහිටි ඉඩමක බලපත්‍ර ගෙන මැණික් ගැරූ ව්‍යාපාරිකයකුවත් පසුගිය සතියේ පොදු දේපළ පනතින් නඩු පවරා දින දහයක් රිමාන්ඩ් භාරයට පත්කරන්නේ ඇළකට හානි වූ බව කියමිනි. ලක්ෂ ගණනක ඇප මුදල් තබා මැණික් සංස්ථාවේ බලපත්‍ර ඇතිව කැණීම් කරන විට හානියක් සිදුවන්නේ නම් දඩ ගැසීමට බලය ඇත්තේ සංස්ථාවට වුවත් පොලිසිය අලුතින් හිස ඔසවන ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන මෙය කරන බව පොලිසියට ගමෙන් එල්ලවන චෝදනාවයි. තමා ​පොලිසියේ ඉහළම ප්‍රධානියකු සමග ගනුදෙනු කරන බව හඟවමින් ඉඩම් අල්න්නට ‘බාර් හිමියා’ වෙරදරන බවද ගමේ අය දනිති. එකී පොලිස් ලොක්කාගේ නමේ ආනුභාවයෙන් මේ නීතිය නැවිල්ල සිදුවන බවත් දැන් හෙළි වී තිබේ.



යහපත් පොලිස් සේවයක් මහජනයා අපේක්ෂා කළද පොලිසියේ අකාර්යක්ෂමතාව සහ දූෂිත පීඩාකාරී තත්ත්වයන්ට එරෙහිව මහජනතාව තුළ විරෝධතාවක් පැන නැගුණද පොලිසිය සතු නීතිමය අධිකාරි බලය මත පොලිසිය සමග සෘජුව ගැටීමේ හැකියාවක් මහජනතාවට නැතැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අත්සනින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යැවූ IGP/PH/5EC/MPS/OUT 2022/21 දරන ලිපියේ සඳහන්ය.

පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 184කින් 126ක්ම ස්ථානාධිපති සම්මුඛ පරීක්ෂණයන්ටවත් සහභාගි නොවූ බව එයින් කියන්නේ පොලිස්පතිය.

පොලිසියේ ක්‍රියාකලාපය නිසා මහජනතාවට පොලිසිය සම්බන්ධ දැඩි කලකිරීමක් හා ඉච්ඡාභංගත්වයක් ඇතිව තිබෙන බවද පොලිස්පතිවරයා එම ලිපියෙන් පිළිගෙන ඇත. නමුත් ලග්ගලින් සිදුවන්නේ එවැනි සේවාවක් නොවන බව පැහැදිලිය. එබැවින් ලග්ගල පොලිසියේ මෙම ක්‍රියාකලාපය ගැන ජනපතිවරයා ඇතුළු වගකිව යුත්තන් හමුවට යෑමටත් අසාධාරණයට පත්වූවෝ පෙළගැසෙමින් සිටිති.

(එෆ්. අස්ලම්, හේමන්ත ලියනපතිරණ - Aruna)