peradeniya-student-death

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු පසුගිය 16දා සිට අතුරුදන්ව තිබූ අතර දින 5 කට පසු අද 21 සවස මියගිය සිසුවාගේ සිරුර සරසවියේ සිට කිලෝමීටර දෙකකට ආසන්නයේ ගන්නෝරුව ප්‍රදේශය අසළදී මහවැලි ගඟේ පාවෙමින් තිබියදී සොයා ගන්නා ලදි.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිවු වන වසරේ අධ්‍යාපනය ලබන අංජන කුලතුංග (23) නමැති අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම්වලින් අනතුරුව
සිසුවාගේ මව්පියන් පේරාදෙණිය පොලීසියට සිසුවාගේ අතුරුදන්වීම පැමිණිලි කර තිබුණි.

පසුව සිසුවා නැවතී සිටි කාමරය පරීක්ෂා කළ පොලිසියට ඔහු දිවිනසාගන්නා බවට ලියන ලද සටහනක් හමුවී තිබුණි. අධික මානසික ආතතියකින් පෙළුණ බව කියන මෙම සිසුවා සිය මානසික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබමින් සිටි බව විමර්ශන වලදී අනාවරණයවී තිබුණි.
ඔහුගේ සටහනේ දක්වා තිබුනේ තමා මහවැලි ගඟට පනින බවයි.
සිසුවාගේ සිරුර සොයා  විශේෂ කිමිදුම් කණ්ඩායමක් මහවැලි ගඟේ සෝදිසි මෙහෙයුමක ඒ අනුව නිරතවූ අතර සිරුර අද සොයා ගන්න ලදි.


යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවා මානසික ආතතියෙන් පෙළීම සම්බන්ධයෙන් කාලයක සිට ප්‍රතිකාර ලබාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
මීට සති කිහිපයකට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවෙක් මහවැලි ගඟට පැන සියදිවි නසා ගත් අතර එම සිසුවා ද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගෙන තිබේ.