ජයකොඩි සෙනෙවිරත්න සමුගනී

Ad Code

ජයකොඩි සෙනෙවිරත්න සමුගනී

jayakody-seneviratne-no-more

රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ගත් කතුවරයෙකු වූ ජයකොඩි සෙනෙවිරත්න මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට 86වැනි වියේ පසු වූ ඒ මහතා රචිත කුමාරිහාමි නව කතාව 1984 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.සිත්තරෙකුට පෙම් බැඳි, දෙමස්සිනෝ, මිහිදුම් සළු,රන් තිසර,සුදු හාමිනේ, නොමැරෙන මිනිස්සු ඇතුළු නවකතා සහ ළමා කෘති 60 කට වැඩි ගණනක් රචනා කර ඇත.
පහත පළවන්නේ ඔහු සමග දේශය පුවත්පත 2017 දී කළ සාකච්ඡාවක උපුටනයකි.

ඔබ මුලින්ම නවකතාකරණයට ආවේ කොයි කාලෙද?

එතකොට මගේ වයස අවුරුදු 18 – 20ක් විතර ඇති. මුල්ම නවකතාව ඒ කාලයේ තිබුණු රසකතා සංග්‍රහයේ කොටස් වශයෙන් පළවුණා. ඒක ලිව්වේ 1964දී.

ඔබ 1964 සිට 21 වැනි සියවස දක්වාම පාඨක පිරිස රඳවාගෙන ඉන්නවා. ඒ සඳහා විශේෂ නිර්මාණශීලී උපක්‍රම යොදාගත්තද?

එදා සිට අද දක්වා බලන විට මා වටා සිටි පාඨක ක්ෂේත්‍රය පුළුල්වීමක් දක්නට ලැබෙනවා තමයි. ඒ සඳහා කිසිම උපක්‍රමයක් මා යොදා ගත්තේ නැහැ. සුපුරුදු පරිදි නවකතා ලිව්වා. නමුත් මගේ නවකතා රචනයේදී ස්වයංවාරණයක් සහ සංයමයක් මා විසින්ම පනවා ගන්නවා. ඒවාට කැමති පාඨක පිරිසක් ඉන්නවා. නවකතාවක ලිංගික පැත්ත සාකච්ඡා කිරීමේදී වුණත් මා ඉතා සංවර ලේඛන ශෛලියක් තමයි යොදා ගන්නේ.

නමුත් අද ජාත්‍යන්තර නවකතා සාහිත්‍යයේදී වගේම අපේ සමහර නවකතාවලත් ලිංගිකත්වය විවෘතව කතා කරන බව පේනවා?

ඔව්. ලෝකය යන රටාවටමනේ අපිත් අනුගතවෙලා යන්නේ. රසිකත්වය විවිධයි. හැම දෙයක්ම විවෘතව කතා කරන විවෘතව ක්‍රියාකරන සමාජයක් අද බිහිවෙලා තිබෙනවා. පාඨක පිරිස් අතර විවිධ ප්‍රභේද තිබෙනවා. අපි පොඩි කාලෙත් කුණුහරුප පොත් තිබුණා. වැඩිහිටියෝ ඒවා කියවලා හංඟනවා. අද ඒවා විවෘතව කතා කරන තැනට ඇවිත්. නමුත් ඒවාට කැමති පාඨක පිරිසක් ඉන්නවා. ඔවුන්ට ඒවා රසවිඳීමට ඉඩ තිබිය යුතුයි.



අද යථාර්ථවාදී කතන්දර කලාවෙන් නවකතාකරුවන් ඉවත්වෙමින් සිටිනවා. නමුත් ඔබ තවමත් කතන්දර කලාවෙම රැඳී ඉන්න බව පේනවා?

පසුගිය දශකයක වගේ කාලය ඇතුළත බිහිවුණු ලේඛකයන් අතින් හුඟාක් ආකෘතිමය වෙනස්කම් සිදුවුණා. අපි ඒ කාලේ පරමාදර්ශී සාහිත්‍ය වශයෙන් සේවනය කළේ සෝවියට්, ප්‍රංශ සාහිත්‍යකරුවන්. ඒවායේ හුඟාක් යථාර්ථවාදී රටාවක් තිබුණේ. ඒ ආභාෂය අපටත් බලපෑවා. දශක තුනකට පෙර සිට ලතින් අමෙරිකානු, සමහර අප්‍රිකානු ලේඛකයන්, ජපාන ලේඛකයන් අතර යථාර්ථවාදී කතාව වෙනුවට වෙනත් ප්‍රවණතා බිහිවුණා. ඒක ග්‍රහණය කරගත් නව පරපුරක් අපේ රටෙත් බිහිවුණා.

ඔබ ඒ ආකෘති සොයාගෙන යාමට පෙළඹුණේ නැද්ද?

නැහැ. මට ප්‍රශ්නය වෙලා තියෙන්නේ අලුත් රටා හොයාගෙන යන්න දැන් වෙලාවක් නැතිවීමයි. මට පමණක් නෙවේ. හිටපු ශ්‍රේෂ්ඨ ලේඛක කේ. ජයතිලක ලිව්වෙත් අපේ ගුණදාස අමරසේකර වගේ අය ලියන්නෙත් යථාර්ථවාදි ශෛලියක්. මම හිතනවා මටත් ගැලපෙන්නේ එදා සිට හුරුපුරුදු ඒ ශෛලිය කියලා. ඒ වගේම ලෝකේ කොහේ වුණත් යථාර්ථවාදී නවකතාව කවදාවත් අභාවයට යන්නේ නැහැ. සාමාන්‍ය පාඨකයාට ලේසියෙන් ග්‍රහණය කරගත හැක්කෙත් රසවිඳිය හැකි වන්නෙත් යථාර්ථවාදී නවකතාවයි.

නව ආකෘතියෙන් ලියැවෙන සමහර නවකතා කියවන්න දුෂ්කර බව පැවසෙනවා?

ඔව්. විවිධ ආකෘති ඔස්සේ ගොඩනැගෙන සමහර නවකතාවල තිබෙන්නේ ප්‍රහේලිකා ස්වරූපයක් තමයි. යථාර්ථවාදී නවකතා කියවලා පුරුදු පාඨකයා ඒ වගේ පොත් කියවන්න අරන් පිටු 20, 25ක් කියවලා නතර කරනවා. තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියලා. නමුත් එවැනි නවකතා පැවතිය යුතු බවයි මගේ හැඟීම. අපි පාඨක ජනතාවට ඉඩදෙමු සුදුසු දෙය තෝරා ගැනීමට.

සාමාන්‍ය පාඨකයන්ගේ අදහසක් තිබෙනවා සම්මාන උත්සවවලදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ යථාර්ථවාදී නොවන නව ආකෘති සොයායන කෘතිවලට කියලා?

ඔව්. මටත් ඒක දැනිලා තිබෙනවා. නමුත් මා සම්මාන ලැබෙන පොත් අවතක්සේරු කරන්නේ නැහැ. ඇත්තටම ඒ සමහර පොත් කියවා තේරුම් ගන්න මටත් අමාරුයි. නමුත් එවැනි කෘති කියවා අගය කරන පාඨක පිරිසකුත් ඉන්නවානේ නේද?

ඔබටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබී තිබෙනවා. නමුත් මෑත අතීතයේ සිට සම්මාන ලැබෙන නවකතා විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්වන්නේ ඇයි?

අද විචාර කලාවෙත් සාහිත්‍ය පිළිබඳ විවිධ මතභේද තිබෙනවා. එදා සිටි විචාරකයෝ අනුකම්පාසහගතව සිටියද දන්නෙත් නැහැ. සම්මාන ලැබෙන පොත්වලට දොස් කිව්වේ නැහැ. මගේ කිසිම කෘතියක් විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක්වෙලා නැහැ. දැනට අවුරුදු 40කට පමණ පෙර එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, අනුර ගුණසේකර, එම්.ජේ. සිරිමාන්න වගේ අය සාහිත්‍ය විචාර කළා. ඔවුන් කවදාවක් ලේඛකයෝ අධෛර්යමත් වන විදිහට කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ හිතට පොත ඇල්ලුවේ නැත්නම් නිශ්ශබ්දව හිටියා. අද එහෙම නොවේ අකමැති පොත්වලට පහර ගහනවා.



සමහරු සම්මාන බලාගෙන පොත් ලියන බවට චෝදනා එල්ලවෙනවා නේද? ඔබේ ලේඛනය එයට ගලපන්නේ කෙසේද?

මම නම් කවදාවත් සම්මාන බලාගෙන නැත්නම් සාහිත්‍ය මාසය ඉලක්ක කරලා පොත් ලිව්වේ නැහැ. මට අවුරුද්දකට ලියන්න පුළුවන් එක පොතයි. කතාවස්තුව මාසයක් දෙකක් හිතේ පැසවා පැසවා තබාගෙන සිට පසුවයි මම ලියන්නේ. ඊට පසුව තුන්වරක් එකම කතාව ලියනවා. දැන් හුඟදෙනෙක් වගේ කොම්පියුටරෙන් නොවෙයි අතින්ම තමයි ලියන්නේ. පෑන කඩදාසියට තැබූ විට තමයි අදහස් ගලාගෙන එන්නේ. සමහර ලේඛකයන් සැප්තැම්බර්වල පොත් පිටකිරීමට උනන්දු වෙන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙයි පොත් අලෙවි කරගැනීම සඳහායි.

ප්‍රවීණ ලේඛකයෙක් වශයෙන් අපේ පාඨකයන්ට විශේෂයෙන් පැවසීමට ඇත්තේ කුමක්ද?

මම දකින ඛේදවාචකය තමයි අලුත් පරපුර කියවීමෙන් දුරස්වීම. නවකතා, කෙටිකතා පමණක් නොවෙයි අතට අහුවෙන හැමදෙයක්ම කියවිය යුතුයි. නමුත් විවිධ නව මාධ්‍ය පැමිණීම නිසා පොත් කියවීම වෙනුවට රූපවාහිනියට, අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා. මොන මාධ්‍ය තිබුණත් කියවීම තරම් මිනිසකුගේ හදවත හැඩගසන වෙනත් මාධ්‍යයක් නැහැ.

(සාකච්ඡා සටහන - කුසුම්සිරි)




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu