maligawatte-incident

මාලිගාවත්ත, ලක්හිරු සෙවන මහල් නිවාසයේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් නිතර සිටි බව කියන 'කුමාර්' නමැත්තාගේ දෑත් වෙන්වන පරිදි තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු දෙමටගොඩ කාලියපුල්ලවත්තේ නිවසක සැඟව සිටියදී පරේදා (21) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. දෙමටගොඩ ප්‍රදේශයේ මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයකු මෙම 'කොළොන්නාව ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන බන්ධනාගාර ගතව සිටින පරිප්පුවා නමැත්තාගේ 'සහෝදරයකු ද මෙම පිරිස අතර සිටින බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

කාලියපුල්ලවත්තේ සැකකටයුතු පිරිසක් රැදී සිටින බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්යබළකායේ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා පස්වරුවේ මෙම නිවස වටලා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව කඩු තුනක් සහ මන්නයක් තිබු බව විශේෂ කාර්ය බලකාය කියයි. අත්අඩංගුවට ගත් පිරිස දෙමටගොඩ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

දෙමටගොඩ ප්‍රදේශයේ සිටින මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුගෙන් හැර වෙනත් ජාවාරම්කරුවන්ගෙන් මත්කුඩු ලබාගෙන ජාවාරම් කරන පිරිස කපා කොටා ඝාතනය කිරීම සඳහා දෙමටගොඩ මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ ඔහුගේ පුතා මෙම කල්ලිය සංවිධානය කර ඔවුන්ට මෙම නිවස ලබාදී එහි පදිංචිකරවා ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

සිරදඬුවම් විඳින දෙමටගොඩ ප්‍රදේශයේ මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම සැකකරුවන් මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාස යෝජනා ක්‍රමයේ කුමාර් නමැත්තා ඉකුත්දා (9) කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවද කාර්ය බලකාය කියයි. මෙම සිද්ධියෙන් අනතුරුව එම මත්කුඩු ජාවාරම්කරුගේ පුතා දෙමටගොඩ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (බුද්ධ) වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (බුද්ධ) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.  අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා දෙමටගොඩ පොලිසියට බාර දී ඇත.

ඉන්දිකා රාමනායක