lahiru-weerasekara-thilini-derana

උද්ඝෝෂණයක් අතරතුරේ පොලිස් රාජකාරිවලට බාධා කළාය කියන චෝදනාවට අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ  හිටපු කැඳවුම්කරු, අරගල ක්‍රියාකාරී ලහිරු වීරසේකර පසුගිය අගෝස්තු 30 වැනිදා  පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ආයේ  සැප්තැම්බර් 10 වැනිදා තමයි මහේස්ත්‍රාත්  නියමයෙන් ඔහුව ඇප මත මුදාහැරීයේ.  සුපුරුදු විදියටම මේ ප්‍රවෘත්තියත් එදා රාත්‍රියේ දෙරණ ප්‍රවෘත්තිවලින් රටට නිවේදනය කෙරුණා. ඒ මොහොතේ දෙරණ ප්‍රවෘත්ති මැදිරීයේ නිවේදිකාව විදියට කටයුතු කළේ තිළිණි නානායක්කාර. ලහිරු වීරසේකර සම්බන්ධ ප්‍රවෘත්තිය නිවේදනය කරද්දී තිළිණීගේ හදවත ගැහෙන බවක් බොහොමයක් ප්‍රේක්ෂකයන්ට නොපෙනුණාට ඇත්තටම ඒ මොහොතේ එහෙම වුණු බව ඇය පසුව ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණා. ලහිරු වීරසේකර ඇගේ දයාබර සැමියා වීමත්, ඔහු ඇප මත නිදහස් වීමේ පුවත ඇයටම නිවේදනය කරන්නට සිදුවීමත් දෙවෝපගත අවස්ථාවක් කියලයි තිළිණි කියලා තිබුණේ.

"කාලෙකට පස්සේ ලහිරු ගැන නිව්ස් එකක් මට කියන්න ලැබුණේ. කවදාවත් නැති බයක්, නිව්ස් එක කියලා ඉවර වෙනකල් සිහියක් නැති ගතියක්, පපුව හයියෙන් ගැහෙද්දී හිරවෙනවා වගේ දැනුණු වේලාවක්.”

තිළිණිගේ කතාව දැක්ක ගමන් අපිට මතක් වුණේ මීට අවුරුදු හතරකට කලින් සුර්ප්‍රීන් කියන ඉන්දියානු නිවේදිකාව කම්පනයට පත්නොවී ඇගේ සැමියාගේ හදිසි අනතුර ගැන නිවේදනය කරපු හැටි. පපුව ඇතුළෙන් බිත්තර තම්බන්න තරම් රනයක් දැනුණු වෙලාවක සුර්ප්‍රීන් වගේම අපේ තිළිණිත් ඇගේ වෘත්තිය සහ පෞද්ගලිකත්ව පටලාගන්නේ නැතිව රාජකාරිය හරිටම ඉෂ්ට කළා.  ඒ ගැන අපි ඇයත් එක්ක කතා කළා.  හැබැයි සමාජ ක්‍රියාකාරිකයකුගේ බිඳක් විදියට සාමාන්‍ය බිඳකට එහා ඇය කරන කැපකිරීම ගැනයි වැඩිමනක්ම අපි ඇයත්  එක්ක කතා කළේ.

“මම මුලින්ම වැඩකළේ සැටලයිට් රූපවාහිනී නාළිකාවක.

2010 දී ලහිරුත් එතැන වැඩට ආවා. ඉතින් අපි එකට වැඩ කළා. ඒ කාලෙදි මගේ හොඳම යාළුවා වුණේ එයා. මගේ හැම ප්‍රශ්නයක්ම මම කතා කළේ ලහිරු එක්ක. දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවත් ලහිරු එක්ක කියලා ඇඬුවහම හිතට ලොකු සැනසීමක් දැනුණා. ඉතින් ඔහොම අවුරුදු හතරක් විතර යනකොට දන්නෙම නැතිව අපි පෙම්වතුන් වුණා. රජරට විශ්වවිද්‍යාලයට අනුරාධපුරේ ගියා. හැබැයි පුළුවන් හැමවෙලාවකම ඔහු මාව බලන්න ආවා. 2014 දී එයා එහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වුණා.

2015 දී තමයි ලහිරු අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ කැඳවුම්කරු විදියට පත්වුණා. හැබැයි ඔහු ඒ ගැන මට කිව්වේ නැහැ. වෙබ්සයිට් එකකින් ඒක දැකපු යාළුවක් තමයි කෝල් කරලා ඒ ගැන මට කිව්වේ.  ඒකාලේ ඔය තනතුර ගැන මට ලොකු දැනුමක් තිබුණේ නැහැ. හැබැයි අතරේ කැදවුම්කරු කිව්වම  අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇතිවෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ. ඒ නිසා ඒක අහපු වේලාවේදි මම හොදටම ඇඬුවා. දවස් ගාණක් ලහිරු එක්ක කතා නොකර හිටියා. එයා මගේ හිත හදන්න සෑහෙන උත්සාහ කළා. එයා කරන්නේ නරක දෙයක් නෙමෙයි කියන එක තේරුම්ගත්තට පස්සේ මම ආයෙත් එයාට කතා කළා.”

අන්තරේ කැඳවුම්කරු වුණාට පස්සේ තිළිණි ගැන හොයලා බලන්න ලහිරුට වෙලාව තිබුණද?

“ගොඩක් කාර්යබහුල වුණු නිසා ලහිරුට නිතරම මාව බලන්න එන්න බැරි වුණා. හැබැයි පුළුවන් හැමවෙලේම ෆෝන් එකන් කතා කර කර මගේ ගැන හෙව්වා. දවසක් ෆෝන් එකෙන්   මැසේජ් කර කර ඉන්දැද්දි එකපාර මැසේජ් නතර වුණා. එයා අත්අඩංගුවට  පත්වෙලා කියලා පස්සේ දැනගත්තා. එදා තමයි ලහිරු පළවැනි පාරට “ඇරෙස්ට් වුණේ. ඒ කාලේ අපේ සම්බන්ධා කවුරුත්  දන්නේ නැහැ. ඒ නිසා  කාගෙන්වත් උදව් ගන්නත් බැහැ. මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව මම පුදුම විදියට අසරණ වුණා. රෑ පුරා අඬ අඬා ඉදලා වැඩට ගියාම ලහිරුගේ නිවුස් එක කියන්න වේලා  තිබුණෙත් මට. හිත හදාගෙන නිව්ස් එක කියලා ඉවරවෙලා බාත්රුම් එකට ගිහිල්ලා හොඳටම ඇඩුවා."

පස්සේ ?
“උද්ඝෝෂණවලට යන යන පාරට එයාට නඩු වැටුණා. ලහිරු රිමාන්ඩ් වුණු වාර ගාණ එයාටවත් මතක නැතිව ඇති. එයා බන්ධනාගාරගත වන හැමපාරම මම එයාව බලන්න යනවා. මුලින්ම මම ලහිරුව බලන්න බන්ධනාගාරෙට ගියේ මගේ යාළුවන්ගේ හස්බන්ඩ් කෙනෙක් එක්ක. පස්සේ පස්සේ තනියම යන්න ගත්තා. එතැනට තනියම යන්න මොකටද බය වෙන්නේ. එතැනත් ඉන්නේ මිනිස්සුනේ. අනික ලහිරු බලන්න ආවා කිව්වම ඒ අය හරි සුහදව මාත් එක්ක කතාබහ කරනවා."

ඔය සම්බන්දෙට තිළිණිගේ ගෙදරින් කැමති වුණාද?

“තාත්තා අකමැති වුණේ නැහැ. ලහිරු නිතරම පාරේ ඉන්නවය, හිරේ විලංගුවේ වැටෙනවය කියලා අම්මා මේ සම්බන්දෙට  තදින්ම විරුද්ධ වුණා.

මම ලහිරු මතම හිටී නිසා පස්සේ ගෙදර අය එයාට කැමති වුණා. 2019දි අපි කසාද බැන්දා.
ඊටපස්සෙත් අපිට එකට ඉන්න ලොකු කාලයක් ලැබුණේ නැහැ. මම තාමත් ආසයි එයාගේ අතින් අල්ලන් ඇවිදින්න යන්න. විශ්වාස කරන්න අපි යාළුවෙච්චි දා ඉඳලා තිම ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලලා නැහැ. එදා ඉඳලා අදටත් ලහිරු ගෙදර එන්නේ සතියට දවස් දෙකයි. ඒ ආවත් රැට ඉන්න වෙන්නේ නැහැ. දුව හම්බෙන්න ඉද්දිත් එයාට මගේ ගාව ඉන්න ලොකු කාලයක් තිබුණේ නෑ. හැබැයි පුළුවන් හැමවෙලේ එයා මගේ ගැන හොයලා බැලුවා. අරගලේ හිටපු දවස් පනහටම ලහිරු ගෙදර ආවේ දවස් දෙකයි. ඒ ආවත් හොදටම උණ හැදිලා. අරගලේ නිසා අත්අඩංගුවට පත්වුණහමත් මම එයාව බලන්න ගියා. එදා සෙනසුරාදා මම ලහිරු ගැන නිව්ස් එක කියපු එක පැලෑන් කරලා කරපු දෙයක් කියලා සමහරු කියලා තිබුණා. ඇත්තටම ඒක එහෙම දෙයක් නෙමෙයි.

එදා මම නිවාඩු දවසක්. ඇප ලැබුණු නිසා ලහිරුව බලන්න හොස්පිට්ල් එකට යන්න හිටියේ. ඒ දවසේ නිව්ස් කියන අනිත් නිවේදිකාව අසනීප වෙලා එන්න බැරි නිසා මට යන්න වුණා. පස්සේ මම ලහිරුව බලලා කෙළින්ම නිව්ස් රූම් එකට ගියා. ලහිරුගේ නිව්ස් එක තිබුණු නිසා ප්‍රවෘත්ති කතෘ 'ඔයාට මේක කරන්න පුළුවන්ද?' කියල මගෙන් ඇහුවා. ඒ වෙල් මම කැමැත්තෙන්ම ඒ අභියෝගය බාරගත්තා. හැබැයි ඒ නිව්ස් එක කියනකොට මට කවදාවත් නැති බයක් දැනුණා. මේක ඉක්මනට කියලා ඉවරකරන්න ඕනේ වගේ හැඟීමක් දැනුණා.නිව්ස් එක කියලා ඉවරවුණු හැටියෙම පපුව අල්ලන් එහම්ම පුටුවට හේත්තු වෙලා හයියෙන් හුස්ම ගත්තා.

ලහිරු ගෙදර ඉද්දිත් ඔහොම කෑගහනවද කියල සමහරු අහනවා. ලහිරු ගෙදර ඉද්දී ඉන්නවද නැද්ද කියලා නැහැ. ඔහු ඒ තරම් නිහඩ කෙනෙක්. අනික එයා හරි ආදරණීය  සැමියෙක්. ගෙදර මොන වැඩේ කළත් මට උදව් කරනවා. මම තරහා ගිහින් කෑගැහුවත් එයා මට කවදවත් කෑගහලා නැහැ. ලහිරු හොඳට ඉගෙනගත්තු කෙනෙක්. උපාධිය කළේ ගණිත අංශයෙන්. එයාට හොද රස්සාවක් කරලා හොදට ඉන්න තිබ්බා. ඒත් එයා අන්තරේ කැඳවුම්කරු වෙලා එයාගේ උපාධිය පවා කැපකළා.

එයා අරගලයට ගිහින් මදුරුවෝ කකා බිම නිදාගනිද්දී පොලිසි හමුදාවලින් ගුටි කද්දි මටත් හිත හදාගෙන නිදාගන්න බැහැ. ඒ මොනා වුණත් ඕවා අතඇරලා දාලා ගෙදර එන්න කියලා මම එයාට කියන්නේ නැහැ, ලහිරු අරගල කරන්නේ දහස් ගාණක් මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා මම එහෙම කියන එක අසාධාරණයි. ඉතින් එයා එහෙම කැපකිරීමක් කරනකොට එයාගෙයි මගෙයි පවුල වෙනුවෙන් කැපවෙලා මම එයාට සහාය දෙනවා."

තිළිණි කතා කරද්දි මට මතක් වුණේ එක දෙයයි. ඒ... දාලා ගියාම පපුව පලාගත්තේ කන්ථක වුණාට හැමදේම දරාගෙන සිද්ධාර්ථගේ පවුල රැකගත්තේ යශෝධරා කියන එක.

සෙව්වන්දි හෙට්ටිආරච්චි (ධරණී)



අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර 2019  වසරේදී විවාහ දිවියට පිවිසි අවස්ථාවේ දෙදෙන එක්ව පෙනී සිටි ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

https://gallery.gossiplankanews.com/wedding/lahiru-thilini-wedding.html