mahinda-amaraweera-speaks

වී වගාවට යොදන උග්‍ර විෂ සහිත මොනක්‍රොටපොස් පළිබෝධනාශකය ලංකාවේ තහනම් කර වසර විස්සක කාලයක් ගත වූවද, මෙරටට සහල් ආනයනය කරන එකදු රටකවත් මෙම පළිබෝධනාශකය තහනම් කර නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.

ලෝකයේ හොඳම සහල් ඇත්තේ මෙරට බවත්, විෂ අඩුම පොහොර භාවිත කෙරෙන්නේ මෙරට බවත් ඇමැතිවරයා කීවේය.



සහල් ආනයනය කරන රටවල ග්ලයිෆොසෙට් වල්නාශකය අධික ලෙස භාවිත කරන බවද, සහල් කල් තබා ගැනීමට විවිධ රසායනික යොදන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බොහෝ රටවල් භාවිත කරන යූරියා පොහොරවල අඩංගු බයියුරේට් ප්‍රතිශතය සියයට එකයි දශම පහක් (1.5)ක් වූවත්, මෙරට භාවිත කරන්නේ බයියුරේට් ප්‍රතිශතය සියයට එකකට වඩා අඩු යූරියා පොහොර බවද හෙතෙම පැවසුවේය.

රට තුළ ඇති තරම් සහල් තොග තිබෙන බැවින් තවදුරටත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, සහල් ආනයනය කරන පිරිසගේ අරමුණ වන්නේ වී මිල අඩු කිරීම බවද ඔහු සඳහන් කළේය.



තවද යල කන්නයේ වී වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින්, දෙසැම්බර් මස අවසන් වන තෙක් රටට අවශ්‍ය තරම් සහල් තොග රට තුළ තිබෙන බවද ඔහු කීවේය.