kandy-phone-diesel

මහනුවර හන්තාන කන්ඳේ සවිකර ඇති පෞද්ගලික දුරකතන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුනේ විදුලිජනක යන්ත්‍ර සඳහා රැගෙන යමින් නිබූ ඩීසල් බවුසරයක් පෙරේදා (24) අලුයම මග හරස් කර නවතා,රියැදුරුට සහ සහායකට පහර දී රථය පැහැර ගැනීමට උත්සාහ කළ කල්ලියක දෙදෙනෙක් ඉන්ධන බවුසරය ද සමග මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූණි.සිද්ධිය වනවිට ඉන්ධන බවුසරයේ ඩීසල් ලීටර් 6,600 ක් තිබී ඇති බව පොලිසිය පවසයි. ඩීසල් තොගය රැගත් මෙම බවුසරය කොළඹ සිට ඉකුත් 24 වැනිදා හන්තාන සම්ප්‍රේෂණ කුලුන බලා ගමන් කරමින් තිබිය දී අලුයම 2.00ට පමණ හන්තාන තපෝදාරාම ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව කොල්ලකරුවන් සිවුදෙනකු ත්‍රිරෝද රථයකින් මග හරස්කර ඉන්ධන රථය නවත්වාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



බවුසර් රථය නවත්වාගෙන ඇති කොල්ලකරුවන් එහි රියැදුරුට සහ සහායකට පහර දී බවුසරය හන්තාන සුළං කපොල්ල ප්‍රදේශය දෙසට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. සැකකරුවන් රියදුරුට හා සහායකට පහර  දී ඔවුන් සතු මුදල් ද කොල්ලකා ඇති අතර ඩීසල් බවුසරයට පාර පෙන්වමින් කැබ් රථයකින් ගමන් ගත් පෞද්ගලික දුරකතන සමාගමේ නිලධාරියකුට ද කොල්ලකරුවන් පහර දී ඔහු සතු මුදල් ද කොල්ලකා ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර මුලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැලවී පැයක් ඇතුළත වහාම එම ස්ථානයට ගොස් බවුසරය පැහැරගෙන යාම වළක්වා කොල්ලකරුවන් දෙදෙනකු එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.



කොල්ලකරුවන් සමග සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු පළාගොස් ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධිය සැලවීමත් සමග පොලිස් නිලධාරින් වහාම ක්‍රියාත්මක නොවුණේ නම් සැකකරුවන් මෙම ඉන්ධන බවුසරය පැහැරගෙන යාමට ඉඩ තිබූ බව ද  පොලිසිය සඳහන් කරයි.  සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ බවුසර් රථයේ රියදුරු සහ කැබ්රථයෙන් ගමන් ගත් දුරකතන සමාගමේ නිලධාරියා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. පලා ගිය කොල්ලකරුවන් දෙදෙනා  සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


ඉන්දිකා රාමනායක