sri-lanka-tax-pay

ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික බදු බර රුපියල් 28,000ක් බවත්, පසුගිය සංශෝධනය හේතුවෙන් අමතරව රුපියල් 4,000ක් පමණ බදු ලෙස දැමීමට සිදුව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය.

එමෙන්ම මෙරට දරිද්‍රතා සීමාවේ සිටින පවුලක් වුවද මාසිකව රුපියල් 14,000ක් පමණ බදු ගෙවන බවත්, ලංකාවේ දිළිඳු පවුලට රුපියල් 4,500ක් සමෘද්ධි සහනාධාරය ලෙස ලබා දී නැවත රුපියල් 6,675ක් බදු ලෙස රජයට අය කරගන්නා බවත් ඔහු කියා සිටියේය. මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින දැඩි උද්ධමනකාරී තත්ත්වය ඇතිව තිබෙන්නේ වක්‍ර බදු නිසා බවත්,



රජය විසින් භාණ්ඩ සහ සේවා මත පනවා ඇති බදු 2021 වසරට සාපේක්ෂව මේ වසර වනවිට 42%කින් වැඩි වී ඇති බවත් සිටියේය. මෙරට සමස්ත බදු ප්‍රමාණයෙන් 70%ක් භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු වන අතර, මෙම බදු ධනවත්ම පුද්ගලයාගේ  සිට අන්ත දුගී පුල්ලයා දක්වා ගෙවීමට සිදුව ඇති බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය හමුවේ වතුකම්කරුවන් ආදී දිනකට රුපියල් 1,150ක් වැනි මුදලක් උපයන අයෙකුට රුපියල් 350ක් වැනි මුදලක් රජයට බදු වශයෙන් ගෙවීමට සිදු වී තිබෙන බවද අනාවරණය වී තිබේ.මෙම සමීක්ෂණය ද්විතියීක දත්ත පදනම් කරගනිමින් සිදුකොට ඇත.


(ෂේන් සෙනෙවිරත්න)