kamal-gunaratne-speaks

ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතුවලට බාධාකරමින් එහි බලහත්කාරයෙන් රැදීසිටිඅරගලකරුවන් ඉවත් කිරීම් මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 9 දෙනකු අතරින් 7 දෙනකුගේ මන්දුව්‍ය ශරීරගතව තිබූ බවට අධිකරණ වෛද්‍යවරයා තහවුරු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඊයේ (26) පැවසීය.

පසුගිය වකවානුවේ යම් යම් සිද්ධි හේතුවෙන්, රට ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක් හටගෙන තිබූ බවත්, නිවෙස්වලට පැන තර්ජනය කිරීම්, පහරදීම්, ගෙවල් ගිනි තැබීම්, මිනීමැරීම් ආදි සිද්ධි සිය ගණන් වාර්තා වූ බවත් ආරක්ෂක ලේකම්වරයා කීවේය.පොලිසියට රාජකාරි කිරිමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතවීමෙන්, මහජනයා පීඩාවට පත් වූ බවද හෙතෙම සඳහන් කළේය.

මේ රටේ නීතිය කෝ? මේ රටේ ආරක්ෂාව කෝ? යනුවෙන් ජනතාවගෙන් චෝදනා එල්ල වූ බවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, ආරක්ෂක අංශ හා පොලිසිය එක්ව මෙම තත්වය සමනය කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය. රට තුළ ස්ථාවර තත්වයක් නිර්මාණය  වෙමින් තිබියදී, තවදුරටත් නීති විරෝධීව හැසිරෙමින් මහජනයාට පීඩා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට සිදුවන බවද ආරක්ෂක ලේකම්වරයා කීවේය.

නීතිය ක්‍රියාත්මක කිරිමේ දී නොයෙක් අංශවලින් චෝදනා, විවේචන එල්ල වුවද ආරක්ෂක අමාත්‍යාංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම හා රාජකාරිය වන්නේ මහජනයාට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීම බවද, ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.  අධිආරක්ෂිත කලාප නම් කර නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නොයෙක් දෙනා කතා කරන බවත්, අද ඊයේ නොව බොහෝ කාලයක සිට මෙරට අධිආරක්ෂිත කලාප ක්‍රියාත්මක කර තිබූ බවත් ද හෙතෙම පැවසීය.

පෙර ඇති වූ තත්ත්වය යළි ඇති නොවීමටත්, කිසියම් සිදුවීමක් කුමන ආකාරයෙන් පැමිණියද එය පාලනය කිරිම සඳහාත් මෙම අධිආරක්ෂිත කලාප යොදා තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා කීය. ජනාධිපති මන්දිරයට විදේශ රටවලින් දූත කණ්ඩායම් පැමිණෙන බවත්, ජනාධිපතිවරයා ඔවුන් සමග සාකච්ඡා පවත්වන්නේ ජනාධිපති මන්දිරයේ බවත් පැවසු හෙතෙම, කොළඹ පැමිණි පසුව පෙනෙන්නේ අරාජික, කලබලකාරී තත්වයක් නම්, රටේ දියුණුවට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට විශාල බාධාවක් වන බවද ප්‍රකාශ කළේය.

එම තත්වය වළක්වා ගැනීමට මහ විශාල කොළඹ නගරයේ සුළු කොටසක් අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කළ බවද හෙතෙම සඳහන් කළේය.

ජනතාවට උඝෝෂණය කිරීම සඳහා ගාලු මුවදොර වෙන්කර දී ඇති බිම් කොටස අධිආරක්ෂිත කලාපයට අයත් බවත්, තවදුරටත් එහි උෂ්ණ පවත්වන්නේ ද යන්න ආරක මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවත් ඔහු කීවේය. උද්ඝෝෂණ ස්ථානය වශයෙන් මෙම ස්ථානය වෙන් කිරීම ප්‍රායෝගිකව බැලීමේදී වැරදි ස්ථානයක් ලෙස එය වෙන්කර ඇති බව තම පෞද්ගලික මතය බවද හෙතෙම සඳහන් කළේය. මෙම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත පිරිස එම ස්ථානයේ නොනැවතී කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම් දොරටුව අවහිර කරන බවත්,  එමගින් එහි රාජකාරිවලට බාධාවක් වන බවත් හෙතෙම කීය.  මෙම ස්ථානය සාමාන්‍ය ජනතාවට රැදී සිටීමට, උද්‍යානයක් වශයෙන් පැමිණීමට කිසිදු බාධාවක් නොවන බවද ආරක්ෂක ලේකම්වරයා කීය. ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදීය.


ඉන්දිකා රාමනායක