anuradapura-baby-incident

දින හතක් වයසැති බිලිඳක රුපියල් 50,000 කට ගත් බව කියන කාන්තාවක සහ අතරමැදියා ලෙස කටයුතු කළ ත්‍රිරෝද රථ රියැදුරකු පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි.   කැබිතිගොල්ලෑව වාහල්කඩ පදිංචි කාන්තාවක සහ මෙම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රිරෝද රථ රියදුරකු මෙසේ අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි. දරුවාගේ පියා මෙම දරුවා විකුණා ඇති  බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන්  අතුරුදන්ව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

අනුරාධපුර, මල්වතු පටුමග පදිංචි බිලිඳාගේ මව වන අවුරුදු 21 ක් වයසැති කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව  සිදුකළ විමර්ශනයකින් පසු බිලිඳු සමග සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නීත්‍යනුකූල නොවන සම්බන්ධයකින් උපන්නේ යැයි කියන එම දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කර ඇත.  ඉන් පසු එම බිලිදා ඇය පදිංචි නිවෙසට  රැගෙන විත් ඇති අතර, එම බිලිදාගේ පියා හා මව අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. බිලිඳාගේ මව ඇගේ බිලිඳා කිසියම්  කෙනකු රැගෙන යන්නට ඇතැයි සිතා ඇය අනුරාධපුර පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ලේ සඳහන් සාක්ෂි හා දුරකථන අංක ඔස්සේ සිදුකළ විමර්ශනයේදී දින හතක් පමණ වයසැති එම බිලිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් ආසන්නයේ පිහිටි කාමරයක සිටියදී සොයාගෙන ඇත. එම දරුවා බාරගන්නා අවස්ථාවේදී  හෙදියකගේ සහ උපස්ථායකවරියකගේ ආධාර අනුබල ලැබී ඇති බවට පොලිසිය සැක කරයි.  අත්අඩංගුවට ගත් කාන්තාව සහ ත්‍රිරෝද රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බිලිඳා පරිවාස බාරයට යොමු කරවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි. දරුවා සහ ඇගේ මව පොලිසිය බාරයේ සිටින බවද පොලිසිය පවසයි.