health-minister-lied-about-the-reports-of-school-children-fainting

නිසි පරිදි අහාර ගෙන නොමැති වීම හේතුවෙන් පාසල් උදෑසන රැස්වීම්වලදී පාසල් සිසුන් සිහිසුන්ව ඇද වැටීමේ සිද්ධි කිහිපයක් මේ දිනවල වාර්තාවූ අතර මේ හේතුවෙන් අද දින ඒ ගැන සෞඛ්‍ය ඇමතිවරයාට කරුණු දක්වන්නට මන්ත්‍රීවරුන් උත්සාහ ගෙත තිබුණි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදාළ සිද්ධි සිදුවී නැති බව කීම නිසා උනුසුම් තත්වයක් මතුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාරසිරි පෙන්වා දුන්නේ ඊයේ (සැප්. 21) දිනයේදී පමණක් අනුරාධපුර, විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ පාසල් තුනක දරුවන් 20කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස ක්ලාන්ත වී ඇද වැටී ඇති බවය. ගම්පහ, මිනුවන්ගොඩ පාසලක දරුවෙකු දිවා ආහාරය සඳහා කුරුම්බා ලොඳ ගෙන විත් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇතැයිද කීය.


ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, මිනුවන්ගොඩ පාසල් දරුවා පිළිබඳව එම පාසලේ විදුහල්පතිනිය ප්‍රතික්සේප කළ බවයි.
එම අවස්ථාවේදී අමාත්‍යවරයා මිනුවන්ගොඩ විදුහලේ විදුහල්පතිතුමියට කතා කළ හඬපටයක් ද පාර්ලිමේන්තුවට ඇසෙන්නට සැලැස්වූ නමුත් කතානායක මහින්ද යාපා මෙම ක්‍රියාව වැරදි බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ නොහැකි බව ත් කී නිසා සිද්ධිය යට ගියේය. ප්‍රසන්න රණතුංග සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සොයා බැලූ බව ත් එහිදී එම පාසලේ එවැනි දෙයක් සිදු වී නොමැති බවත් ය.
මෙම අවස්ථාවේ අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා කියා සිටියේ උද්ධච්චකම අතහැර රටේ යථාර්ථය පිළිගෙන සත්‍ය හෙලිකර එයට පිළියම් යොදන ලෙසයි.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමලේ ප්‍රදේශයේ පාසල් කිහිපයක කුඩා දරුවන් පාසලේ උදෑසන රැස්වීමේ දී සිහිසුන්ව ඇදවැටීම් සිද්ධි ගණනාවක් පසුගියදා වාර්තා විය. තන්තිරිමලේ තම්බියාව ගමේ පිහිටී ධර්මපාල විද්‍යාලය, කිඹුල්වැව ආනන්ද විද්‍යාලය හා මහවිලච්චියේ සිද්ධාර්ථ යන විද්‍යාලවල  ඉගෙනුම ලබන සිසු - සිසුවියන් කිහිප දෙනකුට උදෑසන රැස්වීම් වේලාවේ සිහිසුන්ව ඇදවැටී නිසා, එම පාසල්වල රැස්වීම් සීමා කිරීමට ද කටයුතු කර ඇති බව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති අනුර කොස්වත්ත මහතා අද දින ලංකාදීප පුවත්පතට පැවසීය.
මීට මන්දපෝෂණය හේතුවී ඇතැයිද පැහැදිලි කර තිබුණි.


මීට අමතරව ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිද්ධියක් සහ රාත්‍රී ආහාරය ලබාගත නොහැකි සිසු සිසුවියන් පිරිසක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට කනිෂ්ඨ ද්විතියික පාසලකින් අනාවරණය කර තිබුනේ අද දින අරුණ පුවත්පතයි. සිද්ධියට මුහුණ පා ඇති ශිෂ්‍ය නායිකාව පාසලේ නවවැනි ශ්‍රේණියේ ​ඉගෙනුම ලබන බවත් වාර්තා විය.මෙම විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසු සිසුවියන් පිරිසක්ද ආහාරය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ දීම නිසා පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු ආහාර පාර්සල් සාදාගෙන පැමිණ එම සිසු සිසුවියන්ට ලබාදී ඇතැයිද වාර්තා කර තිබුණි.
කෙහෙලිය හා ප්‍රසන්න යන ඇමතිවරුන් ප්‍රතික්සේප කළේ එම වාර්තාවන්ය.