haton-school-incident

හැටන්, කොටගල, බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විදුහලේ විදුහල්පති කොසු මිටකින් පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

පාසලේ ගුරු උපහාර උළෙලක් සදහා අයකෙරෙන රුපියල් 300ක මුදලක් ඇගේ සොහොයුරා විසින් නොගෙවනු ලැබීම නිසා විදුහල්පති ඔහුට බැණවැදී ඇති අතර ඇය සොහොයුරා වෙනුවෙන් පෙනීසිටීම නිසා විදුහල්පතිවරයා සිසුවියට පහරදී ඇතැයි දැනගන්නට ඇත.



මෙම පාසල් සිසුවිය ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඊයේ (29) ඇතුළත් කර ඇති අතර, ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට යොමු කළ බව කොටගල ප්‍රාදේශීයෙ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ශාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය..පාසලේ පැවැත්වීමට නියමිත ගුරු උපහාර උළෙලක් සඳහා අයකෙරෙන රුපියල් 300 ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් එම පාසලේ අධ්‍යපනය ලබන තම සොහොයුරාට විදුහල්පති පරුෂ වචනයෙන් බැණ වදිමින් සිටියදී තමන් එතැනට ගොස් ‘සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ළඟ වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම් කියා පැවසූ බව, ඒ අවස්ථාවේ විදුහල්පති කොසු මිටකින් පන්න පන්නා අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවත් එම සිසුවිය පැවසුවාය.

තමා කෑ ගසන ශබ්දය ඇසී පාසල ආසන්නයේ සිටි පියා පාසලට දිවගෙන විත් විදුහල්පතිවරයාගෙන් තමන් බේරාගත් බව ද ඇය කීවාය. පහරකෑමට ලක් වූ සිසුවියගේ පියා පැවසුවේ තමන්ට දරුවන් සිවු දෙනකු සිටින බවත්, පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිය ගෘහ සේවයට විදේශගතව සිටින බවත්ය. මිත්තනියගේ රැකවරණය යටතේ තම දරුවන් සිවු දෙනා සිටින බවත්, දියණිය බේරාගැනීමට ගිය අවස්ථාවේ පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය තමන්ට ද බැණ වැදී පහරදීමට උත්සාහ කළ බවත් කී ඔහු ඒ සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසියට පැමිණිල්ලක් කළ බවද පැවසීය.



පාසලේ විදුහල්පතිගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විනය හේතුවක් මත එම සිසුවියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසු බවයි. පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සඳහා මුදල් එකතු කරනු ලබන්නේ පාසලේ ශිෂ්‍ය නායිකාවක විසින් බවත්, තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර නොදුන් බවත් විදුහල්පතිවරයා පැවසීය. පාසලට පැමිණි එම සිසුවියගේ පියා තමන්ට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමන්ද දිඹුලපතන පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව  විදුහල්පති සඳහන් කළේය.


නෝර්වුඩ් රංජිත් රාජපක්‍ෂ