gampaha-hospital-disable

ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මවක ආබාධිත දරුවකු බිහි කර ඇතැයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය එම ආබාධිත දැරියට රුපියල් කෝටි 03 ක වන්දියක් ගෙවීමට රජයට නියම කළාය. පුරවැසියන් විසින් ගෙවනු ලබන බදු උපයෝගී කර ගනිමින් රජය විසින් වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට වැටුප් ගෙවනු ලබන හෙයින් යම් පුරවැසියකු රෝහලකට ඇතුළත් වූ අවස්ථාවක එම තැනැත්තාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ යුතුකම වෛද්‍යවරුන් හා රෝහල් කාර්යමණ්ඩලයට පැවරී ඇතැයි තීන්දුවෙන් අවධාරණය කළ දිසා විනිසුරුවරිය මෙවැනි තත්වයකට පත්වන දරුවන්ගේ දෙමවුපියන්ගේ මරණයෙන් පසුව ඔවුන් රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කර නොමැති බවද සඳහන් කළාය.

ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්යමණ්ඩලයේ නොසැලකිල්ල මත ආබාධිත තත්ත්වයකට පත්ව සිටින කැලණිය බියගම ප්‍රදේශයේ පදිංචි දැරියකගේ මව වන්දි ඉල්ලා ඉදිරිපත් කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරිය එලෙස සඳහන් කළාය.

ආබාධිත දැරිය වෙනුවෙන් ඇයගේ මව විසින් ඉදිරිපත් කරන ලද මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියහ.ගර්භණියව සිටි තමා 2012 මැයි මස 14 වැනිදා දරුවකු ප්‍රසූත කිරිම සඳහා ගම්පහ රෝහලට ඇතුළත් වූ බවත් රෝහලේ සිටියදී දරාගත නොහැකි තරමේ වේදනාවක් තමන්ට ඇති බවත් ඒ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලයට හා වෛද්‍යවරුන්ට දැනුම් දුන්නත් ඔවුන් කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදුන් බවත් සඳහන් කරන ආබාධිත දැරියගේ මව මව දරුවා ප්‍රසූත  කිරීමට සූතිකාගාරයට රැගෙන ගිය පසුවද තමන්ට  ඇති අධික වේදනාව පිළිබඳව වෛද්‍යවරියට දැනුම් දුන්නත් ඇය ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවද සඳහන් කරයි.

ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් ආබාධිත දරුවකු බිහි කිරීමට තමන්ට සිදු වූ බව සඳහන් කරන ආබාධිත දැරියගේ මව ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය වෙනුවෙන් තමන්ට රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටී. රෝගී වූ යමකු ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් වූ පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ යුතුකම හා වගකීම වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්යමණ්ඩලයට පැවරී ඇතැයි මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළ දිසා විනිසුරුවරිය රජය යටතේ පාලනය වන ගහ මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ රජය විසින් යැයිද සඳහන් කළාය.

පුරවැසියන් ගෙවනු ලබන බදු උපයෝගී කරගනිමින් එම වැටුප් ගෙවන බව තීන්දුවේ සදහන් කළ විනිසුරුවරිය මෙම නඩුවට පාදක වූ සිද්ධියේදී දැරියගේ මව දරු ප්‍රසූතිය සඳහා ගම්පහ රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී තමන්ට ඇති අධික වේදනාකාරී තත්වය පිළිබඳව වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි තීන්දුවේ සඳහන් කළාය.



බිලිඳාගේ පෙකණිවැල බෙල්ලේ එතීම නිසා මවට  අධික වේදනාවක් උද්ගත වී ඇතැයිද එම තත්ත්වය නිරාකරණය කිරීමට ඒ අවස්ථාවේදී වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයිද සඳහන් කළ විනිසුරුවරිය වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ඇය ප්‍රසුත කළ දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට හා ඇවිදීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් නිතරම වලිප්පුව වැනි රෝගී තත්වයකින් දැරිය පසුවන බවත් නඩු විභාගයේදී අනාවරණය වූ බව තීන්දුවේ සදහන් කළාය. දැරියගේ ජීවිතාන්තය දක්වාම මෙම තත්වයෙන් සිටීමට සිදු වී ඇති බවත් කිසිදු දිනෙක සාමාන්‍ය පුද්ගලයකු ලෙස ඇයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ සාක්ෂිවලින් තහවුරු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරිය දැරියගේ ජීවිත කාලය පුරාම ඇගේ එදිනෙදා කටයුතු ඉටුකර ගැනීම සඳහා වෙනත් පුද්ගලයින් මත යැපීමට ඇයට සිදුවන බව පැහැදිලි බවද සඳහන් කළාය .

ආබාධිත දැරිය ජීවත් කරවීම සඳහා විශේෂිත ආහාර ද්‍රව්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු කටයුතු සඳහා මාසයකට රුපියල් 70,000 ක පමණ මුදලක් වැය වන බව සාක්කිවලින් අනාවරණය වී ඇතැයි තීන්දු කළ විනිසුරුවරිය දැරිය නඩත්තු කිරීම සඳහා  දෙමවුපියන්ට අවම වශයෙන් මාසිකව රුපියල් 50,000ක පමණ මුදලක් වැය වන බවත් ඒ අනුව වසරකට රුපියල් ලක්ෂ 6ක් පමණ මුදලක් වැය වන බව පෙනී යන බවත් තීන්දුවේ සඳහන් කළාය.

මෙම ආබාධිත දැරියගේ ආයු අපේක්ෂාව අවුරුදු 50ක්  වශයෙන් ගණනය කරන්නේ නම් එම කාලසීමාව තුළ ඇය ජීවත් කරවීම සදහා රුපියල් කෝටි 3ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව සඳහන් කළ විනිසුරුවරිය දැරියගේ දෙමවුපියන්ගේ මරණයෙන් පසුව ඇය රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කර නොමැති බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළාය.

එවැනි අවස්ථාවක පවා දැරිය වෙනුවෙන් වැය කළ හැකි මුදලක් තිබිය යුතු බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් දරුවාට සිදුවූ අලාභය රුපියල් කෝටි 3ක් යැයි තක්සේරු කළාය. පැමිණිලේ වාසියට නඩුව තීන්දු කළ දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය අදාළ දැරියට රුපියල් කෝටි 03ක වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කළාය. පැමිණිලිකාර ආබාධිත දැරිය වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමඟ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.


මනෝප්‍රිය ගුණසේකර