sports-comitees

ක්‍රිකට්, පාපන්දු, රග්බි ඇතුළු තවත් ප්‍රධාන පෙලේ ක්‍රීඩා සංගම් රැසකට අතුරු කමිටු පත්කිරීමේ සූදානමක් පිළිබද තොරතුරු වාර්තා වේ. ඒ සඳහා වන මූලික කටයුතු ආරම්භ කිරීමට සූදානමක් ඇති බවත්, මේ අතරින් පාපන්දු පරිපාලනය සඳහා මේ වන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවත් හෙළිවේ.

 ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාපන්දු පරිපාලනයේ නිල කාලය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබුණේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම මස 16 වැනිදා ක්‍රීඩා සංගම්වල කාලය දීර්ඝ කරමින් නිකුත් කළ2297/94 දරන ගැසට් පත්‍රය පසුගිය 22වැනිදා අවලංගු කිරීමට පියවර ගැනීමත් සමගිනි.



කෙසේ වෙතත් පාපන්දු නිලවරණය ලබන ඔක්තෝම්බර් මස 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, වාර්තාවන පරීදි පාර්ශ්ව කිහිපයක්ම නඩු මගට යාමේ අපේක්ෂාවෙන් පසුවීම නිසා පත්කරන පාපන්දු අතුරු කට්ටුවේ කාලයද බොහෝදුරට දීර්ඝ වීමට ඉඩ ඇත. යම්කිසි හෙයකින් නිසි පරිදි නිලවරණය ලබන ඔක්තෝබර් මස 23වැනිදා පැවැත්වීමට නොහැකි වුවහොත්, පාපන්දුවට මාස කිහිපයකට බලපැවැත්වෙන පරිදි ස්ථිර අතුරු කමිටුවක් පත්කෙරෙනු ඇති බවටද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සමගද සාකච්ඡා කිමට නියමිත බවත්, ඒ අනුව මාස කිහිපයකට අතුරු කමිටුවක් පත්කෙරෙනු ඇති බවද අනාවරණය වේ. මේ අතර, මෙම වසර අවසානයේ හෝ ලබන  වසරේ මුල් මාස කිහිපය තුළ ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුව පත් කළ යුතු අතර, ඒ අනුව ක්‍රිකට් පරිපාලනය සහ නිලවරණය සම්බන්ධයෙන්ද පාර්ශ්ව කිහිපයක් නඩු මගට යාමට නියමිතය.

මේ වන විටත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පරිපාලකයන් ක්‍රිකට් නිලවරණයේ ද අඩුකරන ලෙස ඉල්ලා නඩු මගට ගොස් ඇති අතර,

එම නඩුව ලබන ඔක්තෝබර් මස 11වැනිදා කැඳවීමට නියමිතය. මේ වන විට එම නඩුවද අවසන් අදියරට පැමිණ ඇති අතර, එළඹෙන 17වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත්වුවහොත්, ක්‍රිකට් පරිපාලනයේදී වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 143 සිට 55ක් දක්වා අඩුකරන ලෙස ඉල්ලා ඇති අතර, මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති බව හෙළිවේ. මීට අමතරව අක්‍රමිකතා පවතින ජාතික ක්‍රීඩා සංගවල ලිපි ගොනු ජාත්‍යන්තර සංගමයට ලබාදී අතුරු කමිටු පිහිටුවීමට අවශය අනුමැතිය ලබාගැනීමේ සූදානමක්ද අනාවරණය වේ. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ප්‍රධාන පෙළේ ජාතික ක්‍රීඩා සංගම් රැසක වෙනස්කම් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ,


(පැතුම් ශ්‍රී විජේරත්න)