harshani-buddika-dharmawicrema

පෙරුම්පුරා යුග දිවිය ආරම්භ කළ ඇයට තම ආදරණීය සැමියා සමග ආදර බස් දොඩමින් ජීවිතයේ රසමුසු තැන් සොයා යාමට තිබූ සොඳුරු අවස්ථාවන් ගිලිහී ගියේ කිසිවකුත් නොසිතු අයුරිනි. විවාහ වී දින 17කින් ඇයට සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වූයේ අනපේක්ෂිත ලෙසය. ඒ ඇය සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නට රෝහල්ගත වීමත් සමගය.

අංක 199/ඒ දෑලතුර ජා-ඇල පදිංචිව සිටි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම ඉකුත් මස 13 වන දින රසික ජයතිලක සමග විවාපත් වන්නේ ජීවිතයේ දහසක් ප්‍රාර්ථනා හද තුළ කැටි කොට ගනිමිනි. එහෙත් සිය ආදරණීයන් සෝ සයුරක ගිල්වමින් හර්ෂණීට සිදුවූයේ එම ප්‍රර්ථනා හද තුළම තැන්පත් කර ගනිමින් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගන්නටය.

හර්ෂණීගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත්, ඇයට සැත්කමක් සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා දැනුම් දී තිබුණි. වෛද්‍යවරයාගේ ප්‍රකාශයත් සමග නිවැසියෝ වහා ඇය රෝහල් ගත කිරීමට කටයුතු කළහ.

ඒ අනුව පසුගිය තිස් එක් වැනිදා (31දා) ඇය එම පෞද්ගලික රෝහලේදී සැත්කමට භාජනය කර තිබුණි.

ශල්‍ය කර්මය සිදුකිරීමෙන් අනතුරුව අසාධ්‍ය වූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර පසුගිය විසිපස් (25) වැනි දින ඇය දිවියෙන් සමුගත්තාය.

හර්ෂණී මිය යාමෙන් පසු ඇගේ ශල්‍ය කර්මය පිළිබඳව සහ එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳව නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමත් සමග අප හර්ෂණීගේ උපන් දිනය යෙදී තිබූ ඊයේ (27දා) ඇයගේ නිවසට ගොඩ වැදුනෙමු.

අප එම නිවසට යන විට හර්ෂණීගේ දේහය නිවසට ගෙනැවිත් තිබුණේ නැත. ඒත් ඇයගේ හිතවතියන් හිතවතුන් බොහෝ දෙනකු ඒ වනවිටත් එම නිවසට පැමිණ සිටියේ සිය මිතුරියට සිදුවූයේ කුමක්දැයි අදහා ගත නොහැකිවය. හර්ෂණීගේ මරණය පිළිබඳ ඇයගේ සොයුරු දෙනුවන් ප්‍රසාද් ධර්මවික්‍රම අප සමග මෙසේ පැවැසීය.

" මගේ අක්කාට පහුගිය අගෝස්තු මස 01 දා බඩේ වේදනාවක් ඇවිල්ලා ජා-ඇල තිබෙන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. ඒ ඇවිත් අක්කගේ විවාහ කටයුතුවලට සූදානම් වුණා. අපි අගෝස්තු 13 වැනිදා අක්කගේ විවාහ මංගල්‍යය පැවැත්වුවා. අගෝස්තු 15 අක්කට ආයෙ අමාරු වුණා. අපි එයාව වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් අක්කගේ පිත්තාශයේ ගල් තිබෙන බව අනාවරණය වුණා. පස්සේ අපි 25 වැනිදා පවුලේ වෛද්‍යවරයා හමුවට අක්කව රැගෙන ගියා. ඔහු අපිව ශල්‍ය වෛද්‍ය වරයෙක් වෙත යොමු කෙරුවා.

ඔහු අපිට කිව්වා අක්කගේ සැත්කමක් කරන්න තියනවා රාගම පෞද්ගලික රෝහලකදී එය කරමු කියලා. ඒකට එකඟ වෙලා අක්කගේ සැත්කම ඒ රෝහලේදී කරන්න තීරණයකළා.



සැත්කම සඳහා 31දින ශෛල්‍යගාරයට අක්කව අරගෙන පස්සේ කිව්වා පිත්තාශයේ එක පැත්තකට ගලක් ඇවිත් තියෙනවා. මේ රෝහලේ එය කරන්න පහසුකම් මදි. ඒක නිසා වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට ගිහින් කරන්න ඕනේ කියලා. පිත්තාශය එක පැත්තට ගලක් ඇවිත් කියලා ඒ දොස්තර කිව්වේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතිවයි. ඒත් අපි ඒකටත් එකඟ වෙලා එම පෞද්ගලික රෝහලේදී සැත්කම සිදු කෙරුවා.

ශල්‍යකර්මය සිදු කළාට පස්සේ සැප්තැම්බර් 01 දා දහවල් වනවිට අක්කට අමාරු වෙන්න ගත්තා. එහි දැඩිසත්කාර ඒකකයට අක්කව දැම්මා. පස්සෙ රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට අක්කව යොමු කෙරුවා. රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අක්කව බේරා ගන්න දැඩි උත්සාහයක් ගත්තා. වත්තල පෞද්ගලික රෝහලේදී ඒ තරම් උනන්දුවක් අක්කා කෙරහි දැක්වුවේ නෑ. එහිදී අක්කගේ ශෛල්‍ය කර්මය සිදුකළ වෛද්‍යවරයා සම්පූර්ණයෙන්ම එම කාර්යයෙන් අයින් කරලයි රාගම රෝහලේ කටයුතු සිද්ධ වුණේ. අක්කා වෙනුවෙන් පිටතින් එන්නත් දෙකක් අපි ගෙනත් දුන්නා. ඒ එක එන්නතක වටිනාකම රුපියල් හාරලක්ෂ පනස්දහසක්. තව බෙහෙත් අපි ගෙනත් දුන්නා. ඒ වනවිටත් අක්කා හිටියේ පෙර ශල්‍යකර්මයේදී වෙච්ච වැරැදි නිසා අසාධ්‍ය තත්ත්වයේ. අපිට රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ කතාවෙන් ඒ බව තේරුණා. දින 25 ක් දැඩි සත්කාර ඒකකයේ සිටි අපේ අක්කා 25 වනදා අපි ඔක්කොම දාලා ගියා. අක්කගේ මරණය සිදු වූයේ ඇයට ශෛල්‍ය කර්මය කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා කියලයි අපි කියන්නේ. අක්කගේ මරණ පරීක්ෂණ වාර්තාවෙනුත් කියවුණේ ශෛල්‍ය කර්ම ය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදු වී ඇති බවයි. අපි අක්කගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අක්කගේ උපන් දිනය දාමයි අක්කගේ දේහය මේ ගෙදරට ගේන්නේ. අපි අක්කගේ උපන් දින කේක් එක කපලා එයාගේ උපන් දිනයත් සමරනවා.

මෙම මරණය සම්බන්ධව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී. ඒ ලියනගේ රණවීරගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ, සැත්කමෙන් අනතුරුව ඇයට විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය. එසේ වුවද දින විසිපහක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇයව බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වුවද පෞද්ගලික රෝහලක් තුළ කර ඇති මෙම සැත්කම වෛද්‍යවරයා විසින් නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බවට පවුලේ ඥාතිහුද චෝදනා කරති.

ඒ අනුව පෞද්ගලික රෝහලක් තුළ සිදුකර ඇති මෙවැනි නොසැලකිලිමත් සැත්කම් සම්න්ධව කටයුතු කරනු ලැබූ වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේද යන්න පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් විමසීමක් කළෙමු .

එහිදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පවුලේ ඥාතින්ගෙන් පැමිණිල්ලක් පෞද්ගලික වෛද්‍ය නියාමන සභාවට ලැබුණහොත් ඒ සම්න්ධව විමර්ශන සිදුකරන බවය.

(වරුණි පෙරමුණ හා ප්‍රසංග පාවුළුහේවා-කටුනායක)