habaraduwa-lover-released-bail

වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීම් පනත පෞද්ගලික හේතු මත කිසිදු පුද්ගලයකුට එරෙහිව යොදා නොගත යුතු බවට අභියාචනාධිකරණය නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් ඊයේ (21) සඳහන් කළේය. චෝදනාවකින් තොරව වසර දෙකහමාරකට අධික කාලයක් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර තරුණයකු ඇප මත මුදාහැරීමට නියෝග කරමින් අභියාචනාධිකරණය එම ප්‍රකාශය කළේය. මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ හබරාදූව ප්‍රදේශයේ පදිංචි අමිල සුරංජිත් පෙරේරා නමැත්තෙකි.

මෙම අභියාචක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් සුරැකීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බවත් තම සේවාදායකයා තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර යම් අනවබෝධයක් හේතුවෙන් වන පැමිණිල්ලකට අදාළව මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇතැයි අභියාචක වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේය. මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි. වින්දිතයන් හා සැකකරුවන් සුරැකීමේ පනතේ විවිධධාතයන් පෞද්ගලික හේතූන් මත කිසිදු පුද්ගලයකුට එරෙහිව භාවිත නොකළ යුතු බවත් ඒ අනුව අභියාචක ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් සඳහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙම තරුණයා රුපියල් 50,000 ක මුදල් සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 අතර කාලයේ අහංගම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළ අභියාචනාධිකරණය සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද ඇප කොන්දේසි නියම කළේ. මෙම ඇප අයැදුම්පත්‍රයේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා සහ අහංගම පොලිස් ස්ථානාධිපතිවරයායි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ රිද්මා කුරුවිට මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

(රංජන් කටුගම්පොළ හා නිමන්ති රණසිංහ)