gangstas-paradise-rapper-coolio

ජනප්‍රිය රැප් ගායක කූලියෝ වයස අවුරුදු 59 දී මිය ගියේය. 1995 Gangsta's Paradise නමැති ගීත ඇල්බමය නිසා අතිශය ජනප්‍රිය වූ කූලියෝගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ කළමනාකරු පැවසුවේ ඔහු ලොස් ඇන්ජලීස් හි මිතුරෙකුගේ නිවසකට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් පසු අභාවප්‍රාප්ත වූ බවයි.
ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා මරණය ඒ ආශ්‍රිත එකක් බවට කටකතා පැතිර ගොස් ඇති නමුත් පොලිස් මූලාශ්‍ර TMZ නමැති විනෝදාස්වාද වෙබ් අඩවියට පැවසුවේ කූලියෝගේ මරණය සිදුවූ ස්ථානයේ මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය උපකරණ හමු නොවූ බවයි.
ඔහුට හෘදයාබාධය හටගත් අවස්ථාවහෙි වෛද්‍ය හදිසි ඒකකයේ වෛද්‍යවරුන් සවස 4 ට පමණ ලොස් ඇන්ජලීස් හි අදාළ නිවසට කැඳවා ඇති නමුත් ඔවුන් එහි ගිය විට කූලියෝ ඒ වනවිටත් මියගොස් ඇති බව හඳුනාගෙන තිබේ.


පොලිසිය මරණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් සැකකළ හැකි සලකුණක් පෙනෙන්නට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පෙන්සිල්වේනියාවේ මොනසෙන් හි උපත ලද කූලියෝ කැලිෆෝනියාවේ කොම්ප්ටන් වෙත පදිංචිව සිටියේය. ඔහු ස්වේච්ඡා ගිනි නිවන භටයෙකු ලෙස සහ ගුවන් තොටුපල ආරක්ෂකයෙකුලෙස මුල් කාලයේ රැකියා කර තිබේ. පසුව ඔහුගේ විනෝදාංශය වූ හිප්-හොප් සඳහා පූර්ණ කාලීනව කැපවී 1987 දී ඔහුගේ පළමු ගීතය නිකුත් කළේය.

1980 ගණන්වල අග භාගයේ ආරම්භ වූ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ග්‍රැමී සම්මාන පහක් සඳහා නම් කෙරුණ ගායකයෙකි.
ඔහුගේ සාර්ථක වූ Fantastic Voyage Billboard Hot 100 හි අංක 3 ට ළඟා විය.

ඔහු 1995 වසරේ Michelle Pfeiffer රඟපෑ Dangerous Minds චිත්‍රපටිය සඳහා Gangsta's Paradise පටිගත කළේය.

රැප් ගායක කුලියෝ 2009 දී චැනල් 4 හි Celebrity Big Brother හි හයවන කතා මාලාවේ තුන්වන ස්ථානයට පත්විය.