galaha-kumara-house

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර සලිඳු නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු වන මහින්ද කුමාර නොහොත් ගලහා කුමාර නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් පොල්ගස්ඕවිට හල්පිට ඉදිකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක්

ඊයේ (29) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දින 7කට තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නිවස සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නිවස දින 7 කට තහනම් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙම නිවස ඉදිකර ඇති අතර මුදල් විශුද්ධිකරණයට ප්‍රකාරව ගලහා කුමාර නමැත්තාගේ බිරිඳ ද ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 2022 ජනවාරි මස දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කැස්බෑව ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 22 ක් සමග මුතුනායක ගෙදර මහින්ද කුමාර නොහොත් ගලහා කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තවමත් එම නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී  සිටින පානදුර සලිඳු නමැත්තාගේ මත්කුඩු ජාවාරම් කරන බවත්, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මත්කුඩු ජාවාරම් කරන බවටත් තොරතුරු හෙළි වූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් කළ දී විමර්ශනයේ දී සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ පිහිටි එකී නිවස පිහිටි ඉඩම අත්අඩංගුවට ගත් සැකකාරියගේ මවගේ නමින් මිලදී ගෙන තිබූ බවට අනාවරණය වීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම තහනම් නියෝග ලබාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් මිලදී ගත් තවත් ඉඩම් දෙකක් සහ ඉදිකෙරෙමින් පවතින නිවාස දෙකක් හල්පිට දූව ප්‍රදේශයේ තිබෙන බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය කියයි.

ඉන්දිකා රාමනායක