diana-gamage-speaks

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට නීතිමය අනුමැතිය ලබාගැනීමේ යෝජනාවක් මිට ටික කලකට උඩදී පලිමේන්තුවට ඉදිරිපත් විය. ඊට මූලිකත්වය ගත්යත් (එවකට) පාර්ලිමේන්තුවට මන්ත්‍රිනී ඩයනා ගමගේ ය. නමුත් එවර ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා පසුගියදා නැවත වරක් ඇය එම යෝජනාවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
ඇය පවසන්නේ ඒ හරහා රටට හොද විදේශ විනියමක් ගෙන ආ හැකි බවයි. එම් ගණිකා වෘත්තිය නීතිගත කළහොත් එය යෝග්‍ය බවද ඇය පවසන්නීය. ඉතින් මේ සංවාද සටහන ගොඩනැගෙන්නේ එවන්  අභියෝගාත්මක යෝජනා දෙකක් ඉදිරිපත් කළ ඇය සමග කළ කතාබහක් ඇසුරිනි.

 පසුගියදා ඔබ සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒක අලුත් ආණ්ඩුවේ අලුත් වගකීමක්.  ඉතින් පටන්ගන්න හිතාගෙන ඉන්නේ කොතැනින්ද?


''මේ වෙලාවේ අපේ රට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක. ඒක නිසා රටට වෙනදා තරම් සංචාරකයෝ එන්නේ නෑ. මුලින්ම ඔවුන්ට අපේ රටට එන පුළුවන් වාතාවරණයක් නීර්මාණය කරන්න ඕන.''



*ඔබ හිටපු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂගේ කාලේ කංසා අපනයන බෝගයක් ලෙස වගාකීරීමට අනුමැතිය ලබාගැනීම් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එදා ඒ යෝජනාවට මොකද වුණේ?

''එදා මං ගෙනාපු ඒ යෝජනාව කවුරුත් හට තේරුම්ගත්තේ නෑ. කංසා කියන්නේ සොබාදහම අපට දුන්නු වටිනා සම්පතක්. ඒක නීතිගත කරලා වගා කරලා පිටරට යවන තැනට පත්කරලා තිබුණා නම් අද අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ. ''

*ඒත් පසුගියදා ඔබ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආයෙමත් ඒ යෝජනාවම ඉදිරිපත් කළ බවත් පැවසුවා. මේ සැරේවත් ඔබේ ඉල්ලීම ගැන සලකලා බලයිද?

''රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒ ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම එහි නීතිමය පැත්ත බලලා රටට හානියක් නොවෙන විදියට නීතිගත කරන්න වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.''

* ඔබ ඒ යෝජනාව ගෙනාපු අවස්ථා දෙකේදිම පැහැදිලිව කිවිවා කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමෙන් රටට හොඳ විදේශ විනියමක් පුළුවන්, රටේ වැටුණු ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා. මේ ඔබ විශ්වාස කරන දෙයක්ද? නැත්නම් පදනමක් ඇතුව කියන කතාවක්ද?


"මං පදනමක් ඇතුවයි එහෙම කිව්වේ . නීතිමය අනුමැතිය ලැබුණොත් මේ රට ගොඩඅරන් පෙන්නන්න මට පුළුවන්. ඇත්තටම අපි මෙහෙම වෙන රටවල්වලින් හිඟාකන්න ඕන නෑ. කංසා කියන්නේ අපේ රටේ තියෙන වටිනා සම්පතක්. දැන්වත් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඒ නොගත්ත එකේ පාපය තමයි අපි හැමෝටම දැන් ගෙවන්න වෙලා තියෙන්නේ.''

*එහෙනම් ඇයි ඔබේ යෝජනාවට වටිනාකමක් දෙන්න මේ තරම් ප්‍රමාද වෙන්නේ? ඒ යෝජනාව ක්‍රියාත්මක කරලා රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් ද?

''කංසා කියන්නේ මත්ද්‍රව්‍යයක් කියන තැනයි රටේ බොහෝ පිරිසක් ඉන්නේ. මගේ යෝජනාවට අභියෝගය තියෙන්නේ එතැන. කංසා මන්ද්‍රව්‍යයක් නෙවෙයි කියන්න බෑ. මොකද ඒ තුළ මත්වෙන කොටසක් තියෙනවා. ඒත් කංසා අවුරුදු කීයක් තිස්සේ ඖෂධයක් විදියට පාවිච්චි කරනවද කියන්න. ඒක මත්වෙන්න ගන්නත් පුළුවන්. එහෙම නොගන්නත් පුළුවන්. පිහියක් ගන්නකෝ. ඒකෙන් එළවලු, පාන් කපන්නත් පුළුවන් මනුස්සයෙකුන්ගේ බෙල්ලක් කපන්නත් පුළුවන්. හැමදේම එහෙමයි. වැඩිපුර බත් කෑවොත් නිදිමතයින්නේ. වැඩිපුර සීනි කෑවොත් මත්වෙනවා. අයිස්, කොකේන්, හෙරොයින් ගහලා තරුණු ළමයි පිස්සුවෙන් දගලනවා. ස්ත්‍රී දූෂණ කරනවා ගෑණියකුට පාරේ යන්න බෑ හැබැයි කංසා හින්දා මිනිහෙක් මරලා හිරගෙදරක ඉන්න කෙනෙක් පෙන්නන්න. ''



*මේ අතරේ අපි දැක්කා ගණිකා වෘත්තිය නීතිගත කළත් ඒක යම්කිසි නියාමනයක් යටතට ගත හැකියි කියලා. ඔබ කියනවා?

''ඇත්තටම ගණිකා වෘත්තිය නීතිගත කළොත් යම්කිසි නියාමනයක් යටතට ගන්න පුළුවන්. මොකද දැනට ඒ වෘත්තියේ යෙදෙන අය සෞඛ්‍ය අතින් හොඳ මට්ටමක නෑ. ගොඩාක් අයට විවිධ ලෙඩරෝග තියෙනවා. ඒත් ඒක නියාමනය කළොත් ඒ අයට සෞඛ්‍ය සම්පන්නව ලෙඩරෝග වලින් තොරවෙලා ඒ වෘත්තියේ යෙදෙන්න පුළුවන්. නීතිගත  නොකළත් මං හිතනවා ගණිකා වෘත්තිය සේවාවක්. ඒක රටේ පැරණිම වෘත්තියක්. අපට ඒක නවත්තන්න බෑ. එහෙනම් ඒ කාලේ බුදු හාමුදුරුවන්ටත් තිබුණා ඒක නවතන්න. ඒ නිසා යම්කිසි කෙනෙක් ඒ වෘත්තියට එනවා නම් නියාමනයක් යටතේ ඒක කරගෙන යන්න ඉඩක් හදලා දෙන්න ඕන. ''

*ඊට වැඩිය හොඳ නැද්ද ගණිකා වෘත්තියේ යෙදිලා ඉන්න කාන්තාව එතැනින් ගලවලා ස්වයං රැකියාවක් වගේ වෘත්තියකට යොමුකරන්න යෝජනාවක් ගෙනාවොත්?

''ඒක ඉතාමත් හොඳ දෙයක්. කිසිම කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදෙනවට කාන්තාවක් විදියට මං පෞද්ගලිකව කැමතිත් නෑ. ඔවුන්ව ස්වයං රැකියා වගේ දේවල්වලට යොමුකරන තියෙනවා නම් හොඳයි. ඒත් ඒක කරන්න ලේසි නෑ. ''

*අවසාන වශයෙන් කියන අලුත් ජනාධිපතිතුමා එක්ක ඔබ ඇතුළු පිරිසට ආයෙමත් ම් රට තිබුණු තැනට ගේන්න පුළුවන් කියලා විශ්වාස කරනවද?

''රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බෙල්ල තිබ්බේ දුවන කෝච්චියකට. ඒක තමයි ඇත්ත. ඒ නිසා  එතුමාට මේ වෙලාවේ අපි හැමෝම සහාය දෙන්න ඕනේ. එහෙම කළොත් ආයෙමත් මේ රට තිබුණු තැනට ගේන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. ''

(භාතිය වෙඩි වර්ධන - ධරණී)