wariyapola-baby-found

උපන් හැටියේ බිළිඳෙකු පොහොර උරයක දමා කට ගැටගසා වැව් පිටියක අකුලකට විසිකර දමා තිබියදී ඊයේ (සැප්. 25) හමුව තිබේ.
පඬුවස්නුවර, උගුරැස්සගම ප්‍රදේශයේ කැලෑ රොදක් තුළට විසිකර තිබූ බිලිඳා දමා තිබූ පොහොර උරය වැව් පිටියේ ගවයන් බැඳීමට ගිය කාන්තාවකට හමුවී ඇත.



උදෑසන ගවයන් බැඳීමට ගිය අවස්ථාවේ ඒ අසල තිබුණු උරයකින් බිළිඳෙකු හඬන ශබ්දයක් ඇසුණු බවත් ඒ සම්බන්ධව අවට නිවැසියන් දැනුවත් කරන ලදැයි සිද්ධිය ඇසින් දුටු කාන්තාව සඳහන් කර තිබේ.
ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ සෝදිසි කිරීමේදී ඊයේ අලුයම උපත ලැබූ පිරිමි බිළිඳෙකු කටගැට ගැසූ පොහොර උරය ඇතුළේ කෑගසමින් සිටිනු දකින්නට හැකිවූ බවත් බිළිඳා බිහි කිරීමෙන් පසු පිරිසුදු කිරීමක් කර නොමැති බව ත් ඒ අවස්ථාව වන විටත් දරුවාගේ පෙකනි වැලවත් කපා නොතිබුණු බවත් වාර්තා විය.



මේ සම්බන්ධයෙන් ගම්වැසියන් වාරියපොළ පොලිස් ස්ථානය දැනුවත් කරන ලද අතර 1990 ගිලන් රථ සේවය මගින් අලුත උපන් බිළිඳා නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මේ වන විට බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර කිසිදු රෝගී තත්ත්වයක් තවම වාර්තා වී නොමැත.
අලුත උපන් බිළිඳෙකු අවශ්‍ය සියලු පහසුකම් නිකවැරටිය මූලික රෝහල මඟින් ලබා දෙන බව වාර්තාවේ.

දරුවාගේ මව විසින් මෙසේ දරුවා කැලෑ රොදකට විසිකරනු ලැබ ඇද්දැයි පොලිසිය සැක පළ කරයි.
දරුවාගේ මවුපියන් සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.