delwala-seven-year-girl-murder

අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟ පහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතලකට දමා තිබූ හත් හැවිරිදි දැරියගේ මළ සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාන්චනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ දී ඊයේ (11)ගොඩගනු ලැබීය. දැරියගේ ඝාතනය සම්බන්ධව දෙල්වල  පොලිසිය රත්නපුර අධිකරණයට ඉකුත් 6 වැනිදා කරුණු ඉදිරිපත් කර තිබිණි. එම කරුණු සැලකිල්ල ගත් අධිකරණය දැරියගේ මළසිරුර ගොඩගැනීමට පොලිසියට නියෝග කළේය. එම මළසිරුර ඊයේ ගොඩ ගත් අවස්ථාවට රත්නපුර මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම, රත්නපුර සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර මහත්වරුන් ද මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරික්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

දැරියගේ මළ සිරුර සොයා ඊයේ (11) පෙරවරු 9ට පමණ පතල් වළේ කැණීම් ආරම්භ කෙරුණු අතර එම ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයකි. පතල් පතල් වලෙහි ජලය පිරී තිබූ හෙයින් ජල මෝටර් යොදා එහි ජලයත් රොන් මඩත් ඉවත් කිරිමට පියවර ගැනීමෙන් පසුව පෙරවරු 10.30 ට පමණ දැරියගේ මළසිරුර සොයා ගැනීමට හැකි විය.  පසුව එම සිරුර පතල් වළෙන් ගොඩ  ගැනිණි.

මියගිය දැරියගේ මව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ එම ස්ථානයට පැමිණ සිටි අතර එම සිරුර බහාලු පොහොර උරය ඇතුළු දෑ හඳුනා ගත්තාය. සුදු පොහොර උරයක බහා තිබු දැරියගේ සිරුර බෙහෙවින් නරක්වී තිබූ අස්ථි කොටස්, හිස කොටස, කළුගල් තුනක් දැරීයගේ බවට සැක කරන කුඩා සායක්, ටී ෂර්ටයක් එම පොහොර කවරයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

මළසිරුර රත්නපුර දිස්ත්‍රික් මහරෝහලට රැගෙන ගොස් එහි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකුට වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිසියට නියෝග කළාය. ඒ අනුව දැරියගේ සිරුර පොලිසිය විසින් රත්නපුර මහ රෝහල වෙත ගෙනයනු ලැබීය. මියගිය දැරියගේ මව දැරිය අතුරුදන් බව පවසමින් පසුගිය ජුලි මස මැල්සිරිපුර පොලිසිය කළ පැමිණිල්ලක් එම පොලිසිය වෙල පොලිසියට දැන්වීමෙන් අනතුරුව දෙල්වල පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. ඒ වනවිටත් මියගිය දැරිය දෙල්වල පොලිස් වසමේ පදිංචිව සිට ඇත. පැමිණිලිකාරියගේ ප්‍රකාශය අනුව දැරිය අතුරුදන් වී ඇත්තේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට තෙමසකට පෙරය දෙමසකට පෙර තම දැරියගේ පියා දැරිය රැගෙන ගිය බවට ඇය පොලිසියට සඳහන් කර තිබුණි.

දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමල් කීර්ති මහතා එම පැමිණිලිකාරිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරිමේ දී ඇය දිගින් දිගටම ප්‍රකාශකර ඇත්තේ තම දියණිය රැගෙන ගියේ දැරියගේ පියා බවය. පියා බව කියන පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි පස්දරු පියෙකි. ඔහු පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේ දී මියගිය දැරිය එම තැනැත්තා රැගෙන ගොස් නැති බවට පොලිසිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව දෙල්වල පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳව දැඩි සැකයක් මතුවී දැරියගේ මවගෙන් ප්‍රශ්න කිමේ දී ඇසූ ඝාතනයේ තොරතුරු පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.

පැමිණිලිකාරිය මියගිය දැරිය රැගෙන දෙල්වල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු සමග පවුල් කෑම සඳහා පැමිණ ඇති අතර ඒ වනවිටත් එම පුද්ගලයාගේ නිවසේ කාන්තාවන් දෙදෙනකු  පදිංචිව සිට ඇත.

එක් කාන්තාවක එම පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිඳ වන අතර අනෙක් තැනැත්තිය අනියම් බිරිඳකි. එම නිවසේම මියගිය දැරියගේ මවත් සිය දියණීය ද පදිංචි කරගෙන එකගෙයි පවුල් කමින් සිටියදී එම අපරාධය සිදුවිනැයි පොලිසිය කියයි. මේ වනවිටත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සැකකරුට දරුණු ගණයේ අපරාධ චෝදනා ගණනාවක් විවිධ අධිකරණවල විභාගවෙමින් පවතින බවත් පොලිසිය පවසයි. දැරියගේ පියා බව කියන පුද්ගලයා පොලිසියට කැඳවා දැරියන්ගේ අතුරුදන් වීම පිළිබඳව ප්‍රශ්න කර සිටි අවස්ථාවේ දැරීය එම පුද්ගලයා විසින් රැගෙන නොගිය බවට තොරතුරු අනාවරණය වීමත් සමග පැමිණිලිකාරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරිමේදී ඝාතනය ගැන තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබුණු මැණික් ගලක් මියගිය දැරිය අතුරුදන් කළ බව  කියමින් සැකකරු දැරියට පහරදී මරා දමා නිවසට මිටර් තුන්සියයකට පමණ දුරක පිහිටි ලඳු කැලෑවක වළ දැමූ බවට පැමිණිලි කාරියගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි. මියගිය දැරියගේ සිරුර රත්නපුර මහ රෝහල වෙත රැගෙන ගොස් එහි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළ අතර එම නියෝගය අනුව මියගිය දැරියගේ සිරුර පොලිසිය විසින් මහ රෝහල වෙත ගෙන යනු ලැබීය.
 රෝහණ සමරවීර