karapitiya-doctor

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ අංශය තුළදී 16 හැවිරිදි දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල මගින්ද පක්ෂණයක් ආරම්භ කර ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යු.එම්. රංග මහතා පවසයි.



මේ පිළිබඳ පොලීසිය මගින්ද විමර්ශනයක් සිදුකරන බව සඳහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා මෙම සිද්ධිය සම්බන්ධව ආයතන මට්ටමින්ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල දැරිය නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා විසින් තමන් වෙත යොමුකර ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. දැරිය ස්කැන් පරික්ෂණයට ලක්කරණ අවස්ථාවේදී එහි රෝහල් උපස්ථායිකාවක්ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී  නොමැති බවට එම උපස්ථායිකාව සඳහන් කර ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.  

ඇගේ මව සිද්ධිය සම්බන්ධව ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇත.

මෙම දැරිය රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන සිට ඇත. ඉකුත් 08වැනි දින දැරිය ස්කෑන් පරික්ෂණයක් සඳහා විකිරණ අංශය වෙත ගොස් ඇත. ස්කෑන් පරික්ෂණය සිදුකිරීමේදී එහි සිටි සැකකාර වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධියට සම්බන්ද බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පක්ෂණ පවත්වන බව ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල ස්නාපති ද සිල්වා මහතා පවසයි.

 (චන්දන සමරවික්‍රම)