delwala-incident-updates

මව සහ ඇයගේ අනියම් සැමියා එක්ව වළ දමා තිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ හත් හැවිරිදි දැරීයගේ සිරුර නිවිතිගල, දෙල්වල, ගඟපහළ ප‍්‍රදේශයේ අත්හැර දැමූ පතල් වළක දමා තිබියදී ඊයේ 11වැනිදා ගොඩ ගැනීමෙන් පසු එම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සහ ඔහුගේ පියාගේ නිවාස දෙකක් ප‍්‍රදේශවාසින් විසින් ගිනි තබා ඇතැයි දෙල්වල පොලිසිය කියයි.

සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවට බන්ධනාගාරගත කර සිටින දැරියගේ මව රැගෙන ආ අතර එහිදී ගම්වාසී කාන්තාවෝ ඇයට දොස් නගමින් විරෝධය පළ කළහ. පසුව ඊයේ (11) පස්වරුවේදී ප්‍රධාන සැකකරුගේ සහ ඔහුගේ පියාගේ නිවාස දෙක ගිනි තබා තිබුණි. නිවිතිගල, දෙලකන්ද ප‍්‍රදේශයේ එක ළග මෙම නිවාස දෙක පිහිටා තිබේ.



 ගිනි ගනිමින් තිබූ නිවාස දෙක බේරා ගැනීමට දෙල පොලිසියේ නිලධාරිහු කිහිප දෙනෙක් උත්සාහ ගත්හ . මැල්සිරිපුර පාසලක දෙවැනි වසරේ  ඉගෙනුම ලබන හර්ෂිකා හර්ෂනී කුමාරි නමැති වයස අවුරුදු හතක  දැරියක මෙලෙස මියගොස් ඇති බව  දෙල්වල පොලිසිය පවසයි.  හය මසකට පෙර දැරියගේ සිරුර වළ දමා ඇතැයි පොලිස් පරික්ෂණවලදි  හෙළිවිය. ඊයේ එම සිරුර ගොඩගන්නා විට පොලිතින් උරයක ඔතා තිබූ අතර සිරුරේ බොහෝ කොටස් නරක් වී ඇතැයි රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර මහතා පැවසීය. හත් හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධව ප්‍රධාන සැකකරුගේ නිත්‍යනුකුල බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර ඇයත් ප්‍රධාන සැකකරුත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.



ප්‍රදේශයෙන් පලාගොස් ඇති ප්‍රධාන සැකකරු යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු බවත්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, නීති විරෝධි මත්පැන් ජාවාරම්වලට යන දරුණු ගණයේ අපරාධවලට චෝදනා ලද්දකු බවද පොලිසිය පවසයි. මේ වන විටත් එම අපරාධ සම්බන්ධයෙන් අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය පැවසීය.


 ලසන්ත නිර්මාණ