delwala-incident-updates

නිවිතිගල, දෙල්වල ප්‍රදේශයේදී 7 හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය.
සැකකරු කලවාන නරගයට පුවක් විකිණීම සඳහා පෙරේදා (18 වැනිදා) පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
දෙල්වල ප්‍රදේශයේ දැරියකට අමානුෂික ලෙස පහරදී පසුව දැරිය මියගියේ යැයි සිතා පතල් වළකට දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරින්දෑවරු දෙදෙනා ද මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



එම සැකකාරියන් තිදෙනාගෙන් අයකු එම අවස්ථාවේදී ඔත්තුබලා ඇති අතර, පසුව එම අපරාධය වසන් කිරීමට ද සැකකරුට උදව් කර ඇතැයි පොලිසිය කීවේය. තවද, ඝාතනය කළ දැරියගේ මව ද අදාළ සැකකාරියන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුගේ නීත්‍යානූකූල බිරිඳ සහ අනියම් බිරින්ඳෑවරු දෙදෙනා එකම නිවසේ ජීවත්ව සිට ඇතැයි පැවසේ. මෙහි ප්‍රධාන සැකකරු තවත් අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

කලවාන, පනාපොළ ප්‍රදේශයේදී එම සැකකරු සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව කහවත්ත සහ හොරණ පොලිස් විශේෂ කර්ය බළකා කඳවුරුවල කණ්ඩායම් දෙකක් ඉකුත් 15 වැනිදා සිට එම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ප්‍රධාන සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ අත්අඩංගුවට ගෙන තිබිණි.



ප්‍රධාන සැකරුගේ අනියම් බිරිඳකගේ 7 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදී මීට මාස 6කට පෙර ඝාතනය කර දෙල්වල ප්‍රදේශයේ පැරණි පතල් වළකට සිරුර දමා තිබිණි. එලෙස පතල් වළකට දැමූ දැරියගේ සිරුර පසුගිය 11 වැනිදා ගොඩගෙන තිබේ.

(ඉන්දික වික්‍රමආරච්චි - රක්වාන - අරුණ)

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
දස වධ දී මරා හැංගු දෙල්වල දැරියගේ සිරුර ගොඩගනී