ගාල්ල, හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙනේ උත්සවයකට පසුගියදා එක්වෙමින්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙසේ පැවසීය.
‘‘මේවා පාලනය කිරීමට බැරි තත්වයකට රට පත්වුවහොත් මහා සංඝරත්නයට මෙන්ම රජයට ද කිරීමට දෙයක් නැහැ. එමනිසා එතැනට පත්වීමට ඉඩනොදී රට රැකගැනීම සියලුදෙනාගේ යුතුකම හා වගකීමයි.

රටේ පාලකයා පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ මොනතරම් තත්ත්වයක් රටේ තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනුම් දෙන්නේ නැතිව හිටපු ගමන් ගිය විට මොනතරම් ප්‍රශ්නයක්, ගැටලුවක්, පීඩනයක් රටේ තියෙන්න ඇද්ද? ඒ පීඩනය හා ගැටලුව නැතිවුණේ නැහැ, ඒක තියෙනවා. තාවකාලිකව යටපත්වීමක් තමයි තියෙන්නේ. පොඩි සමනයක් වෙලා තියෙනවා.



මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු සියලුදෙනාට විදුලි බිල තුන් ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නොවෙයි. වතුර බිලත් තුන් ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලි බිල හා ජල බිල පිරිමහගෙන පාවිච් කිරීමට සිදුවෙලා තියෙනවා. නමුත්, මේ අවස්ථාවේ විහාරස්ථානවලට ඒක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථානය. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉදිරියේ දී ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදුලිබල ඇමැතිතුමා සමග කථාබහ කරලා විහාරස්ථාන සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා’’